මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකළ ලවණ බාධකය හේතුවෙන් වසර කිහිපයක් පුරා වගා කටයුතු කර ගැනීමට නොහැකිව අසරණ වූ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීමේ මහා සමාරම්භක වැඩසටහන අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම ඓතිහාසික වන්දි ප්‍රදානෝත්සවයේ පළමු අදියර යටතේ අද දිනයේ පමණක් තෝරාගත් ගොවීන් 250 දෙනෙකු වෙත ජනාධිපතිවරයා අතින් වන්දි මුදල් පිරිනැමෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි. මෙම සමස්ත ව්‍යාපෘතිය යටතේ ලවණ බාධකය නිසා පීඩාවට පත් වූ ගොවීන් 5,000කට ආසන්න පිරිසක් වෙනුවෙන් වන්දි හිමිවන අතර, වගා කිරීමට නොහැකි වූ කුඹුරු අක්කර 12,800ක් මේ යටතේ ආවරණය කෙරේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය මුසුවීම වැළැක්වීමේ අරමුණින් 2019 වසරේදී මෙම ලවණ බාධකය ඉදිකරන ලදී. කෙසේ වෙතත්, එමඟින් ඇති වූ අතුරු ආබාධ හේතුවෙන් 2019 වසරේ සිට 2022 දක්වා කාලය තුළ අඛණ්ඩව වගා කන්න 07ක් පුරා ගොවි ජනතාවට සිය වගා බිම් අහිමි විය. විශේෂයෙන්ම කැකණදුර, කඹුරුපිටිය, මාලිම්බඩ සහ මැදඋයන්ගොඩ යන ගොවිජන සේවා බල ප්‍රදේශවල වගා බිම් මේ නිසා සම්පූර්ණයෙන්ම මුහුදු ජලයෙන් යටවී වගා කිරීමට නොහැකි මුස්න තත්ත්වයට පත් විය.
ඒ අනුව, අගතියට පත් 2019 යල, 2019/20 මහ, 2020 යල, 2020/21 මහ, 2021 යල, 2021/22 මහ සහ 2022 යල යන කන්න 07 සඳහාම මෙලෙස වන්දි මුදල් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ගොවි සංවිධාන විසින් වසර ගණනාවක් පුරා සිදුකළ සාධාරණ ඉල්ලීම්වලට කන් දෙමින්, වත්මන් රජය විසින් 2026 ජාතික අයවැය මඟින් රුපියල් මිලියන 1,200ක (බිලියන 1.2ක) දැවැන්ත ප්‍රතිපාදනයක් වෙන් කරමින් මෙම වන්දි මුදල් ගෙවීමට පියවර ගෙන ඇත.
















