දකුණු කොරියානු රජයේ රැකියා ලබාදීමේ නිල වැඩසටහන යටතේ, එරට නිෂ්පාදන අංශයේ (Manufacturing Sector) රැකියා අවස්ථා හිමි කරගත් ලාංකික තරුණ තරුණියන් පිරිසක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමේ විශේෂ අවස්ථාවක් පසුගියදා සාර්ථකව පවත්වා තිබේ.
මෙම ගුවන් ටිකට්පත් නිල වශයෙන් සංකේතාත්මකව පිරිනැමීම, වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ (SLBFE) මූලස්ථානයේදී සිදු කෙරිණි. නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2026 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ගතවූ මාස කිහිපය තුළ පමණක් දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් 1,067 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, ඉදිරියේදී එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇත.
මෙම අභිමානවත් අවස්ථාව සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම විදේශගත වීමට නියමිත තරුණ තරුණියන්ගේ ඥාතීන් ද සහභාගී වී සිටියහ. දකුණු කොරියාව වැනි ඉහළ වැටුප් සහිත රටවල් වෙත මෙලෙස දක්ෂ ශ්‍රමිකයන් යොමු කිරීම හරහා මෙරට විදේශ විනිමය ඉපැයීම් තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
















