2025 වසරේදී ශ්‍රී ලංකාව ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගූ බවත්, 2026 වසරේදී ආර්ථික වර්ධන වේගය 7% දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබූ බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසනවා.
කෙසේ වෙතත්, මැදපෙරදිග හදිසියේ ඇති වූ යුද ගැටුම් තත්ත්වය රටේ ආර්ථික සැලසුම්වලට බරපතළ බලපෑමක් එල්ල කළ බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. මෙම යුද්ධය නිසා ඉන්ධන සහ බලශක්ති ආනයනය සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම, නැව් ගාස්තු ඉහළ යාම සහ අනෙකුත් ආනයන පිරිවැය වැඩි වීම රටේ ආර්ථික ස්ථාවරත්වයට ලොකු අභියෝගයක් වෙලා තිබෙනවා.
ආනයන තහනම් වෙයිදෝ කියන බිය නිසා වාහන සහ වෙනත් භාණ්ඩ ආනයනය කිරීමට බොහෝ දෙනා ණයවර ලිපි විවෘත කිරීම වේගවත් කළා. ඒ නිසා ඩොලරයට තිබෙන ඉල්ලුම වැඩි වී රුපියලේ අගයත් යම් තරමකට පිරිහුණා. මේ නිසා රටේ අනාගතය වෙනුවෙන් ජනතාවට වගකීමක් තිබෙනවා. ඒ නිසා තාවකාලිකව තමන්ගේ ආනයන වියදම් අඩු කරගෙන මේ අභියෝගාත්මක අවස්ථාවේදී රජයට සහය ලබා දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.














