ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරට වෙළඳපොළේ ජංගම දුරකථන සහ ඒ ආශ්‍රිත උපාංග (Accessories) මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා.
රුපියලේ අගය පහළ යාම නිසා ආනයනික භාණ්ඩවල පිරිවැය ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වය මත ඉදිරියේදී ජංගම දුරකථන සහ අමතර උපාංගවල මිල 20% ත් 25% ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බව එම සංගමය අනතුරු අඟවනවා. මෙම මිල ඉහළ යාම දුරකථන අලුත්වැඩියා කිරීම සඳහා භාවිත කරන අමතර කොටස් සඳහා ද දැඩි ලෙස බලපානු ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මිල වැඩිවීමත් සමඟ ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ පිරිවැය ද සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි අතර, එය සාමාන්‍ය පාරිභෝගිකයින්ට ගැටලුවක් වනු ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
















