වාහන ගෙන්වීම අත්හිටුවීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එමෙන්ම, රටේ පවතින මූල්‍ය වටපිටාව සැලකිල්ලට ගෙන ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද මෙතෙක් අලුතින් කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මීට අමතරව, වත්මන් ආර්ථික තත්ත්වය තුළ රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් බිය විය යුතු නැති බවත්, එය ගැටලුවක් කරගත යුතු නොවන බවත් ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වාහන ආනයනය නතර කිරීමට කිසිදු තීන්දුවක් ගෙන නොමැති අතර, සිදුව ඇත්තේ පුද්ගලික වාහන ඇණවුම් කිරීම මාස කිහිපයකින් ප්‍රමාද වීම පමණක් බවයි. වාහන පමණක් නොව කිසිදු ආකාරයක ආනයන සීමා කිරීමකට හෝ ආර්ථිකය හැකිලීමට රජය තීරණය කර නොමැති බවත්, තොරතුරු පාදක කරගනිමින් මේ සඳහා මැදිහත් වීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පැවසීය.රජයේ මූලිකම අපේක්ෂාව නව ආයෝජන කැඳවීම හරහා හැකි උපරිම අයුරින් ආර්ථිකය ප්‍රසාරණය කිරීම බව පෙන්වා දුන් ආචාර්ය අනිල් ජයන්ත මහතා, ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන පනස් හතක් වෙන් කිරීමට රජය කටයුතු කරන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














