27 April 2024
#දේශීය

සාමකාමී විරෝධතා මැඩපැවැත්වීමට හමුදා පිරිස් යොදවන්නේ නෑ – ආරක්ෂක අමාත්‍යංශය

ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකෙරෙන සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා කිසිසේත්ම හමුදා භටයන් යොදා නොගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් අවධාරණය කරන බවයි.

 ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් සිය මුහුණු පොතෙහි (Facebook) ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අමතා තබා තිබූ සටහන සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිචාරය මෙසේය.

ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකෙරෙන සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා කිසිසේත්ම හමුදා භටයන් යොදා නොගන්නා බව සඳහන් කරමින් තවදුරටත් පැවසූවේ ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී දේශයේ ආරක්ෂාව වෙනුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයන් අතර සාමය සහ සහජීවනය ඇති කිරීමට පොලිසිය විසින් එවැනි සහායක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලිසියේ ඉල්ලීම පරිදි හමුදා සහාය ලබාදෙනු ලබන බවයි.

සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදෙන අයවලුන් අතරට බුද්ධි අංශ සාමාජිකයන් යවා ඔවුන් මඟින් යම් කලකෝලහාල තත්ත්වයක් ඇතිකර හෝ බෝම්බ පිපිරීමක් වැනි දෙයක් සිදුකර එය හුවාදක්වමින් ඔවුන් විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාව යොදාගැනීමේ අදහසක් ඇතැයි සමාජ මාධ්‍ය හරහා යන තොරතුරුවල කිසිම සත්‍යතාවයක් නැති අතර ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක් බව ආරක්ෂක ලේකම්වරයා මහජනතාවට දන්වා සිටී.

සාමකාමී අරගලයන්වලදී තම යටි අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කිරීමට වෙර දරන විවිධ කණ්ඩායම් පිළිබඳව පෙන්වා දෙමින් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සාමකාමී විරෝධතාවලට මුවා වී රාජ්‍ය දේපළ හෝ පෞද්ගලික දේපළ විනාශ කරන්නන්ට සහ ඒ සඳහා නායකත්වය දෙන අයවලුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පොලීසිය විසින් ගන්නා බවයි.

ආරක්‍ෂක ලේකම්වරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ එක්ව රටේ නීතිය, සාමය සහ ජනතාව ආරක්‍ෂා කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමටත් තම යුතුකම වගකීමෙන් යුතුව ඉටු කරන බව පවසමින් ගෞරවාන්විතව සහ අවංකව කටයුතු කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ගන්නා උත්සාහය පිළිබඳව සිහිපත් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *