නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ එම අංශයේ නිලධාරිනියන් දෙදෙනා ලබන ඔක්තෝබර් 06 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හැටන් මහේස්ත්රාත් පීටර් පෝල් මහතා නියෝග කර තිබේ.
එක් සැකකාරියක් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ගැබිණි තත්ත්වයේ පසුවන අනෙක් සැකකාරිය සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි. නෝර්වුඩ් සහ තලවකැලේ ප්රාදේශීය ලේකම් කාර්යාල දෙකේම අස්වැසුම මුදල් වංචාව රුපියල් කෝටි 2.2 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සැකකාරියන් විසින් ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් ගුරුවරුන් කිහිප දෙනෙකුගේ සහ රාජ්ය නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති අතර, වංචාවේ මුදල රුපියල් කෝටි 2 ඉක්මවීම නිසා ඉදිරි විමර්ශන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) වෙත භාර දීමට කටයුතු යොදා ඇත.















