27 April 2024
#දේශීය

දැන් ජනතාව රැවැට්ටීමේ යුගය ඉවරයි – සමන්ත විද්‍යාරත්න

පොදු ජන අරගලයක් කරන්න මේ රටේ පොදු ජන යුගයක් බිහිකිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය බලංගොඩ ආසන සමුළුව අමතමිනි.

එහිදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මෙසේ අදහස් පල කලේය “ අද පවතින දේශපාලන තත්වය හැමෝටම අවබෝධයක් තිබෙනවා. මේ රට ආණ්ඩු කළ කොළ නිල්පාට දේශපාලන පක්ෂ දෙකට ගමකට එන්න බැරිවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගය සමුළුව දහස් ගණනක් එකතු වෙලා ඉන්නේ අරක්කු, බත් පැකට්, උදලු තල, ටකරං තහඩු දීලා නොවෙයි. මේ පොදු ජනතාව ඇවිත් ඉන්නේ පොදු ජන අරගලයක් කරන්න; මේ රටේ පොදු ජන යුගයක් බිහිකිරීමේ බලාපොරොත්තුවෙන්. රටේ ආණ්ඩු කරපු අය, රට මහා ප්‍රපාතයකට ඇද වැට්ටුවා වගේ රටේ ආණ්ඩු කරපු පක්ෂත් කෑලි කෑලිවලට කැඩිලා. එයාලත් මහා ප්‍රපාතයට ඇද වැටිලා. නිල්පාට කඳවුර අද මාධ්‍ය ඇතුලේ ගහගන්නවා පේනවා. පක්ෂයේ අයිතිවාසිකම් ගන්න එහාට මෙහාට ලියමින් අයිතිවාසිකම් ගන්න උසාවි යමින් ඉන්නවා. කෑලි කෑලිවලට පතුරු ගැලවෙමින් යනවා. කොළ පාට කඳවුර කෑලි ගැලවෙනවා, බිලී බානවා. ඒ අතරේ ඒ පක්ෂ දෙක වටා හිටපු සාමාන්‍ය ජනතාව අද මාලිමාව කේන්ද්‍ර කරගත් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙමින් ඉන්නවා. කොට්ඨාස සභා පිහිටුවන කොට තුන්සිය, හාරසිය, පන්සිය ගණනින්ද, ආසන සමුළු තියන කොට දහස් ගණනින්ද ජනතාව ඒකරාශී වෙනවා. අවුරුදු 74ක් වනසපු රට ගොඩනඟන්න අපි සූදානම් කියන පණිවිඩය අපි ජනතාවට දෙමින් ඉන්නවා. මේ වේදිකාවේ ඉන්නේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අයම නොවෙයි. කිසිදු දිනෙක දේශපාලන වේදිකාවකට නැගපු නැති, මේ රට ගැන හැඟීමක් දැනීමක් තිබෙන, සංවේදීකමක් තිබෙන මිනිස්සු. මෙතන ආචාර්ය, මහාචාර්යවරුන්, නීතිඥ මහත්වරුන්, ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන්, කලාකරුවන්, මහාසංඝරත්නය, අන්‍ය ආගමික පූජ්‍ය පක්ෂ සියලු බලවේග නියෝජනය වෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය බවට පත්වෙමින් තිබෙනවා. මේ පෙර මඟ සුබ ලකුණු පහළවෙමින් තිබෙන්නේ. මෙතනට ඇවිත් ඉන්නේ හිතේ හයියක් තිබෙන මිනිස්සු; මේ රටට ආදරය කරන මිනිස්සු; වෙනසක් සිදුකිරීමේ අපේක්ෂාවෙන් සිටින මිනිස්සු. අද හැමෝම කියන්නේ මේ රට ඊළඟට බාරදෙන්නේ කාටද? කොළවලටත් දුන්නා. නිල්වලටත් දුන්නා. දැන් ඇති. දැන් මාලිමාවට දෙන්න, ජාතික ජන බලවේගයට දෙන්න. 2023 වසර මේ රටේ දේශපාලනයේ නව පිටුවක් පෙරළන, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදනවා. මේක ඔබේ වාරය. පොදු ජනතාවගේ වාරය. ජාතික ජන බලවේගය වටා එකතු වීම හැර අන් විකල්පයක් නැහැ. අද පොහොට්ටුවට මොකද වෙලා තියෙන්නේ. ඩලස්, වීරවංශ, මෛත්‍රී, කෑල්ල, කෑල්ල ගලවගෙන ගිහිල්ලා. ඒකට රනිල්ගේ මුක්කුවක් ගහලා අටවගෙන තිබෙනවා. රනිල් හිතනවා නම් ඒ මුක්කුවෙන් මේ ගැලවෙන, ඇලවෙන වැටෙන්න හදන වහලයි, ගේයි රැකගන්න පුළුවන් කියලා ඒක විහිළුවක්. දැන් පොහොට්ටුව ඉවරයි. අලියි, පොහොට්ටුයි එකතු වෙලා පූට්ටු වෙලා ඉන්නවා. රනිල්ගේ දේශපාලන මන්දිරේට ගිනි තිබ්බේ කවුද? සජිත් ප්‍රේමදාස. රනිල්ගේ දේශපාලන මන්දිරේ තිබුණු බඩුමුට්ටු සජිත් හොරෙන් අරන් ගියා. සජිත් කිව්වේ රනිල්ට බැහැ. මම ඊළඟට බලය ගන්නවා. දැන් රනිල්, සජිත් හොරෙන් අරන් ගිය බඩු ආපහු අරගෙන එනවා. හරින්, මනූෂ ගෙනාවා. අපට ආරංචියේ හැටියට රාජිතත් හොරෙන්ම නැවත එනවා. රනිල් පතුරු එකතු කරනවා. මේ ඔක්කොම පතුරු රටට හතුරු. අවශ්‍ය වෙලාවට උන් උන්ටම අමුණනවා. පසුගිය ඉතිහාසයේ අපේ රටේ අවාසනාවන්ත තත්වයක් තිබුණා. මේ රටට සැබෑ ලෙසම ප්‍රේම කරන, මේ රට ගොඩගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරය, ඇත්තම මිත්‍රයා කවුද කියා තේරුම් ගන්න මිනිස්සුන්ට අපහසු වුණා. නමුත් දැන් මේ රටට ආදරය කරන්නේ කවුද? මිතුරු කවුද? හතුරා කවුද? කියා තේරුම් ගෙන හමාරයි. අපේ රටේ අසීමිත ලෙස සම්පත් තිබෙනවා. ඒත් දියුණුවක් නැහැ. ඇයි මේ සම්පත් තිබෙද්දී අපි දුප්පත් වුණේ. මේ පාලකයෝ මේවා වැඩි දියුණු කළේ නැහැ. ඔවුන් වැඩි දියුණු වුණා. ජනතාව කබලෙන් ලිපට දමා තිබෙනවා. මේ අගාධයෙන් අගාධයට වැටුණේ සම්පත් තිබෙන රටක්. රටේ ජනතාවට තුන්වේල කන්න බැරිවෙන ආර්ථිකයක් හදලා තියෙනවා. කොහොමද රටක් ඉදිරියට යන්නේ. රෝහලේ බෙහෙත් ටික නැහැ. දේශපාලන ගිනි කන්දක් වාගේ රටක් බවට පත්වෙලා. අපිට අභිමානවත් ඉතිහාසයක් තිබුණා. ගොවිතැන පුරාණයේ සිට තිබුණා. ඒ තුළින් අපට සංස්කෘතියක් හැදුණා. අපට අනන්‍ය වූ ගුරු ගෙදර පිරිවෙන වුණු අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. කෘෂිකර්මාන්තය නමැති අත්තිවාරම මත අපට අනන්‍ය වූ නාඩගම්, සොකරි, උඩරට, පහත රට වැනි, කලාවක් තිබුණා. සංදේශ කාව්‍ය, ජන කාව්‍ය වැනි කලාවක් තිබුණා. තිස් හතළිස් දහසක වැව් තිබුණා. වැව් ආශ්‍රිතව ගම්බිම් තිබුණා. මේ රටේ සහල් පිටරට පැටෙව්වා. පෙරදිග ධාන්‍යාගාරය නමින් විරුදාවලිය ලැබුවා. එවැනි අභිමානවත් ඉතිහාසයක් අපට තිබුණා. පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසින්ට මේ අත්තිවාරම බිඳින්න බැරිවුණා. නමුත් දැන් මේ කෘෂිකාර්මික අත්තිවාරම වර්තමාන පාලකයෝ බිඳ දාලා ඉවරයි. ඒ එක්ක සියල්ලම කඩා වැටෙන්න පටන් ගත්තා. ඉන්දියාවේ, චීනයේ මේ ගැමි කෘෂිකර්මාන්තය තිබුණා. යුරෝපයේ තාක්ෂණය බිහිවෙනකොට, ආසියාවේ, ලතින් අමෙරිකාවේ, චීනයේ බුද්ධිමතුන් යුරෝපයට යවා ඒවායේ තිබුණු නව දැන්ම ලබාගත්තා. ඒ දැනුම ගෙනත් ඒ රටවල් කර්මාන්ත ආරම්භ කළා. අපේ රටේ එහෙම දැනුම ලබාගන්න යැව්වෙ නැහැ. ගිය කෙනෙක් ආවෙත් නැහැ. ආව කෙනෙක් හිටියා නම් එයාගෙන් ඒ වැඩේ ගත්තෙත් නැහැ. ලෝකෙට පළමු අත්ට්‍රැක්ටරය හැදුවේ ලංකාවේ කෙනෙක්. රේ. විජේවර්ධන මහතා. පාලකයෝ එයින් ප්‍රයෝජන ගත්තේ නැහැ. ඒ අත්ට්‍රැක්ටරය එංගලන්තය ගත්තා, අරගෙන ලෑන්ඩ් මාස්ටරය නමින් ලංකාවට එව්වා. ජපනා එය අරගෙන කොබෝටා නමින් ලංකාවට හදලා එව්වා. ඔවුන් කර්මාන්ත ශාලා හැදුවා. ඩොලර් හොයාගන්න පටන් ගත්තා. අපේ ගමේ කම්හල වැහුණා, මැටි වලං හැදීම නැතිව ගියා. බලංගොඩ නගරයේ කඩවල චීන ප්ලාස්ටික්, ඉන්දියාවෙ පරිප්පු, සුදුලූණු, ඕස්ටේ්‍රලියාවේ ඇපල්, දොඩම්, වියට්නාමයේ හාල්මැස්සෝ තියෙනවා. බලංගොඩ බඩු ඇමෙරිකාවේ හෝ වෙනත් රටක තියෙනවාද? අවුරුදු 74 ක් කළේ ලංකාවේ කර්මාන්ත සියල්ලම වහලා, පිටරටින් බඩු ගෙන්වන්න පටන් අරගත්තා. රටක මේ විනාශය නොවී තියේවිද? අපේ රටේ පශු සම්පත් ඇමති කෙනෙක් ඉන්නවා. ඒත් බලංගොඩ කිරි නැත. නවසීලන්තෙන් ගෙනාව කිරි බලංගොඩ කඩවල්වල ඇත. ජාතික ජන බලවේගයේ අපි කෙටි කාලයකින් ලංකාවට අවශ්‍ය කිරි ලංකාවේ නිෂ්පාදනය කරනවා, කිරි කර්මාන්තය දියුණු කරනවා. අපි සන්ධාන ආණ්ඩුව කාලයේ ඉඩම්, කෘෂිකර්ම, පශුසම්පත්, වාරිමාර්ග ඇමති අනුර කුමාර දිසානායක. අපි මාස 14ක් ඇමති ධුර දැරවා. නුවරඑළිය, අඹේවෙල කිරි කර්මාන්ත ශාලා අපි ගන්නකොට පාඩුයි. බැංකු ලෝන් එකක් දාලා තමයි පඩි ගෙව්වේ. ආදායම නැහැ. චන්දි්‍රකා යොජනා කළා වහමු කියලා. අපි මාස 14න් යන කොට අඹේවෙල කිරි කර්මාන්ත ශාලාවේ පාඩුව පියවලා, බැංකු ලෝන් එක සම්පූර්ණයෙන් ගෙවලා, මිලියන ගණනක් ඉතුරු කරලා, කිරි ගොවියාට වැඩි මිලක් ගෙවලා, කිරි කර්මාන්තය දියුණු කරලා, ලංකාවේ කිරි ගම්මාන 500ක් දාලා වැඩ පිළිවෙළ ආරම්භ කරලා. අපි ලංකාවේ කිරි කර්මාන්තය නගා සිටවූ මිනිස්සු. මේ කර්මාන්තය දියුණු කිරීමට අපි සූදානම්. අනුර සහෝදරයා ගෙනාවා යෝජනාවක්. “දැයේ කිරි සුවඳ, කිරි ගොවි ගම්මාන 500” කියලා අපි ආරම්භ කළා. පළමු එක බදුල්ල, වැලිමඩ, දික්කාපිටිය ගම්මානය. පවුල් 50ක් ඕනෑ. අලුත් කොල්ලෝ කෙල්ලෝ තෝරා ගත්තා. දැනුම දීලා ඔලුව හැදුවා. නවීන ක්‍රමයට කරන්න, ගාල හදා ගන්න, ලක්ෂයක බඩු දුන්නා. භාජන නොමිලේ දුන්නා. 2% වාගේ අඩු පොලියට ණයක් දුන්නා. කිරි වැස්සියන් මිලදී ගැනීමට. ඉන්දියාවේ අමූල් ව්‍යාපාරයෙන් දවසට කිරි ලීටර් 30-35ක් දෙන කිරි වැස්සියෝ ගෙනත් දුන්නා. අඹේවෙල කිරි කර්මාන්ත ශාලාවට කිරි වැඩියි. ඒ නිසා අපි කුරුණෑගල ඉඩමක් වෙන් කරලා, නව කිරි කර්මාන්ත ශාලාවක් බිහි කරලා, කොල්ලන්ට කෙල්ලන්ට දහස් ගණනක් රැකියා දෙන්න කැබිනට් පත්‍රිකාවක් දාන්න අනුර සහෝදරයා ලක්ෂ 500ක් වෙන්කර ගත්තා. අපි සියල්ල සූදානම් කරගෙන ඉන්න කොට මාස 14න් අපිට එළියට එන්න සිදුවුණා. ඊළඟට ආව කිරි ඇමතියා කිරි ගම්මාන වැඩේ නැවැත්තුවා. අර ලක්ෂ 500 වෙන වැඩකට ගත්තා. ඉඩමත් වෙන වැඩකට ගත්තා. ඇයි මේ පාලකයෝ කිරි කර්මාන්තය හැදුවේ නැත්තේ. ලූණු, සුදු ලූණු, පරිප්පු, තෙල්, බෙහෙතේ ගේන්නේ, කිරි පිටි පිටරටින් ගේන්නේ දේශපාලනඥයෝ සහ ඔවුන්ගේ ඥාති හිතවතුන්. ඒ අය ගිහින් කිව්වා ජේවීපී කාරයෝ මේ විදිහට කිරිගොවි ගම්මාන දැම්මොත් අපේ බිස්නස් වැටෙනවා. අපිට ලාභෙ නැතිවෙනවා. ඔබතුමාට කොමිෂන් දෙන්න බැරි වෙනවා. ඒ නිසා කිරි ගම්මාන වැඩේ නවත්තන්න කිවුවා. ඉතින් ෆැක්ටරිය නැවැත්තුවා. ඔබ දුප්පත් වුණේ උන් පොහොසත් වූ නිසා. අපි දුප්පත් වුණේ පාලකයෝ කරපු හොරකම් නිසා. මහ බැංකුවේ වංචාව කෝටි එකොළොස් දහසක්. ඒ කෝටි එකොළොස් දාහ හොරකම් නොකළා නම්, කන්න හතරකට පොහොර ගෙනත් දෙන්න තිබුණා. සීනි බදු වංචාව රුපියල් මිලියන දාහත්දාහකට ආසන්නයි. ඒ මුදල් තිබුණා නම් රෝහල් පද්ධතියට වසර හතරකට බෙහෙත් ගෙනත් දෙන්න තිබුණා. තෙල් නැව් ගණනාවක් ගෙනත් දෙන්න තිබුණා.
මේ රටේ පාලකයෝ දුප්පතුන් තියා ගන්නවා. නූගත්කම තියා ගන්නවා. ඒ ඇයි? දුප්පත්කම, නූගත්කම පාලකයන්ට ආශීර්වාදයක්. දේශපාලන වුවමනාව සඳහා එයාලා පාවිච්චි කර ගන්නවා. ඉගෙන ගන්නේ නැති තරමට ඔවුන් කැමතියි. එතකොට අරක්කු කාලට, වැසිකිළි පෝච්චියට රවටන්න පුළුවන් නිසා. දැන් ඒ ජනතාව රැවැට්ටීමේ යුගය ඉවරයි. යැයි සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *