27 April 2024
#දේශීය

භීෂණයේ පීතෘවරු රට හදන්න ඉල්ලීම විහිළුවක් – විපක්ෂනායක සජිත්

88, 89 කාලේ සිටි ගෝනි බිල්ලන් රට ගොඩගැනීමට විසඳුම් දෙනවැයි කියා කයිවාරු ගසමින් මේ දිනවල කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (06) කැස්බෑවේ පැවැති ජනහමුවක් අමතමිනි.

රටේ වරායවල්, බැංකු එක සුළු නියෝගයකින් වැහුව, චිට් යව කඩ වැහුව, දණහිසින් උඩට මෘත ශරීරයක් ඉස්සීම තහනම් කළ, රෑට ලයිට් දැමීම පවා තහනම් කළ 88, 89 කාලේ සිටි ගෝනි බිල්ලන් රට ගොඩගැනීමට විසඳුම් දෙනවැයි කියා කයිවාරු ගසමින් මේ දිනවල කටයුතු කරන බවත් මේ රට විනාශ කළ සුනාමි අරමුදල් චෝදනා තිබූ රාජපක්ෂලාට බලය ලබා දීමට 2005 කටයුතු කළේ ඔවුන් බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

88, 89 කාලයේ පවා රට පුරා යුද්ධ 2ක් පැවැති අවධියේ වුවද රණසිංහ ප්‍රේමදාස මහතා ආර්ථිකය කිසි විටෙක සුංකෝචනය කිරීමට කටයුතු නොකළ බවත් එතුමා එක තීරණයකට පැමිණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර රටේ ආර්ථීකය වර්ධනය කර ඇගලුම් කම්හල් වැඩසටහන ආදී සංවර්ධන වැඩසටහන් ගණනාවක් ආරම්භ කළ බවත් සෑම අවස්ථාවකම ජනතාවගේ පැත්තෙන් සිතා කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

එහෙත් මේ වන විට අපේ රට ණය නොගෙවන, ආණ්ඩුවම ප්‍රකාශ කළ ආකාරයට දුප්පත් දුගී රටක් බවත් මෙවන් තත්ත්වයක් තුළ මේ ප්‍රශ්නයෙන් ගොඩ ආ යුත්තේ ආර්ථීකය වර්ධනය කරද? ආර්ථිකය කුඩා කර ද? යන්න සිතිය යුතු නමුත් වර්තමාන රජය සිදු කරන්නේ ආර්ථීකය හකුලවාලීම බවත් ඉල්ලුම තෙරපීම තුළින් ජන සමාජයේ සංසරණය වන මුදල් අඩු කර ඒ තුළින් රටේ උද්ධමනය අඩු කර ඒ තුළින් විනිමය අනුපාත ශක්තිමත් කරන්න ඔවුන් සිතුවත් ඒ තුළින් ජනතාවගේ මත විශාල බදු බරක් පැටවෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අනාගතයේ දී රුපියල් 45000ක ආදායමක් ලබන අයකුටත් බදු පැනවේයැයි කටකතාවක් පැතිරෙන බවත් මේ හේතුවෙන් රටේ ඉන්න බුද්ධිමතුන්, විශේෂඥයන්, වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් රට අතහැර ගොස් ඇති බවත් ඒකට හේතුව බදු බර බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය. රට තුළ විශාල බුද්ධිගලනයක් සිදු වන අවස්ථාවේ දී ජන සමාජයේ බොහෝ කොට්ඨාසයක් මහා පීඩාවකට ලක්ව ඇති බවත් නුදුරේදීම විදුලි බිල සියයට 65-75 අතර ප්‍රමාණයකින් දෙවතාවක් වැඩි වීම තුළ රටේ ඇති ප්‍රශ්න තවදුරටත් උග්‍ර වන බවත් ඒ තුළින් දුප්පතුන් විශාල වශයෙන් වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවේ අපි එක ස්ථාරවයක සිට ඉදිරියට යා යුතු බවත් එම ස්ථාවරය විය යුත්තේ ආර්ථිකය සංකෝචනය කිරීමෙන් තොරව වර්ධනය කිරීමෙන් බවත් ඒ තුළින් ජනතාව නගා සිටුවීමක් සිදු කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුවේ මේ ක්‍රියාදාමය නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් කඩා වැටී ඇති බවයි.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *