තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට කුරුණෑගල මහ නගර සභාවේ නාගරික ලේකම්වරයා වෙත යොමු කළ පෞද්ගලික ලිපියක් මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රී බී.ඩබ්ලිව්. ප්‍රේමචන්ද්‍ර මහතා දැඩි විරෝධය පළ කරයි. නගර සභාවේ අද (07) පැවති මාසික රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ රාජ්‍ය නිලධාරියෙකු වෙත නිල වශයෙන් භාරදුන් ලිපියක් සමාජ මාධ්‍ය වෙත කාන්දු වූයේ කෙසේද යන්නයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කුරුණෑගල මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 22න් 10ක් හිමිකරගත් ජාතික ජනබලවේගය, පසුව පැවති රහස් ඡන්දයකින් නගර සභාවේ බලය පිහිටුවීමට සමත් විය. එවැනි දේශපාලන පසුබිමක් තුළ මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රසිද්ධියට පත්වීම ආන්දෝලනයක් ඇති කර තිබේ. කෙසේ වෙතත්, තම ඉල්ලා අස්වීමට අදාළ ලිපිය බාහිර පාර්ශවයන් අතට පත්වීම තුළින් බරපතල ගැටලුවක් මතු වන බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.













