ජාතික ගමනාගමන කොමිෂන් සභාවට (NTC) අලුතින් පත් වූ වේලාසටහන්කරුවන් 18 දෙනෙකුට පත්වීමේ ලිපි ප්‍රදානය කර ඇති අතර, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනෙක් වේලාසටහන්කරු තනතුරට පත්වීම් ලැබීම මෙහි විශේෂත්වයකි.
විවෘත අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව පැවති සම්මුඛ පරීක්ෂණ මඟින් අයදුම්කරුවන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් අතුරින් උපරිම සුදුසුකම් සපුරා ඇති මෙම 18 දෙනා තෝරාගෙන තිබේ. මෙම පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවන පරිවර්තනීය වෙනස්කම් සමඟින් ඉදිරි වසර පහක කාලය තුළ මෙම තනතුරු නාමය හා එහි වගකීම් සම්පූර්ණයෙන්ම වෙනස් වීමට නියමිත බවයි. එසේම, වාර්ෂිකව හිමිවන වැටුප් වර්ධකයන් සමඟින් රාජ්‍ය සේවකයන් ජීවත්විය හැකි මට්ටමක වැටුපකට ක්‍රමිකව රැගෙන යන බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.














