නව පාසල් වාරය ආරම්භ වීමත් සමඟ යතුරුපැදිවලින් ගමන් ගන්නා පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ රථවාහන අංශය විසින් ආදර්ශවත් හා මානුෂීය වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. පසුගිය දිනවල හිස්වැසුම් නොමැතිව යතුරුපැදිවලින් ගමන් කළ දරුවන් හඳුනාගනිමින්, එම පවුල්වල ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන පෙර පාසල් සහ පාසල් යන දරු දැරියන් වෙත නොමිලේ හිස්වැසුම් බෙදා දීම නුවරඑළිය පොලිස් ස්ථානයේදී සිදු කෙරිණි.
නුවරඑළිය කොට්ඨාශ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝෂන් කුරේ මහතා ඇතුළු නිලධාරීන් විසින් මෑත දිනවල අනාවරණය කරගත් යතුරුපැදිකරුවන්ගේ නාම ලේඛනයක් පදනම් කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අලියාන්ස් (ALLIANZ) ආයතනයේ ආර්ථික අනුග්‍රහය ලබා දී ඇති අතර, ආයතන නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම ආරක්ෂිත හිස්වැසුම් භාර දීම සිදු විය.
නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට අමතරව මහජන සුබසාධනය සහ දරුවන්ගේ මාර්ග ආරක්ෂාව පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක කළ මෙම ප්‍රවේශය ප්‍රදේශවාසීන්ගේ ඉහළ පැසසුමට ලක්ව තිබේ. මෙවැනි වැඩසටහන් හරහා මඟී ආරක්ෂාව පිළිබඳ ජනතා දැනුවත්භාවය ඉහළ නැංවෙන අතරම, අනාගතයේදී රිය අනතුරු නිසා සිදුවන ළමා මරණ හා තුවාල වළකාගැනීමට මෙවැනි ප්‍රජා කේਂද්‍රීය පොලිස් මෙහෙයුම් මහත් පිටුබලයක් වනු ඇත.














