විශේෂයෙන්ම මෙරට වියළි කලාපයේ ලීටරයකට මිලක් අය කරමින් අලෙවි කරනු ලබන පානීය ජලයේ ගුණාත්මකභාවය පාලනය කිරීම සඳහා මේ වන විට කිසිදු නියාමනයක් නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) සඳහන් කරයි.
කිලිනොච්චිය, මුලතිව්, යාපනය, අනුරාධපුරය සහ කුරුණෑගල වැනි ප්‍රදේශවල ජලය ලීටරයකට රුපියල් එකේ සිට දහය දක්වා මිලකට අලෙවි කිරීම සුලභව දැකගත හැකිය. ප්‍රජා මූලික කණ්ඩායම් මෙන්ම පෞද්ගලික අංශය ද මෙම ජලය අලෙවි කිරීම සිදු කරනු ලබන නමුත්, මෙම ජලයේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා හෝ මිල පාලනය කිරීම සඳහා මේ වන තෙක් කිසිදු ක්‍රමවේදයක් නොමැත.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, අලෙවි කරන ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිශ්චිත මාර්ගෝපදේශ නිකුත් කරන්නේ නම්, තම ආයතනයේ ඇති රසායනාගාර පහසුකම් ඒ සඳහා ලබා දිය හැකි බවයි. මෙම ජලය අලෙවි කරන බොහෝ ග්‍රාමීය මධ්‍යස්ථාන මගින් ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව කිසිදු සහතිකයක් නිකුත් නොකරන බව ද වාර්තා වේ.
















