27 April 2024
#දේශීය

යාල වනෝද්‍යානයේ ජවුසන් නැටූ පිරිස සමග ගිය නිලධාරින්ගේ වැඩ තහනම් – ඇමැති අමරවීර

පසුගියදා වන සතුන්ට හිරිහැර වන අයුරින් යාල වනෝද්‍යානයේ සතුන් නැරඹීමට ගොස් අනිසි ලෙස වාහන ධාවනය කළ පිරිස සම්බන්ධව වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (24) වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

සංවේදී පරිසර කළාපයක මේ අයුරින් වනසතුන්ට හිංසාවන අයුරින් වාහන ධාවනය කරද්දී ඒ සම්බන්ධව කිසිදු මැදිහත්වීමක් නොකළ මඟ පෙන්වන්නන් Trackers හා අනිකුත් නිලධාරින් සම්බන්ධව ද විමර්ශනයක් ආරම්භ කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය. වනජීවි හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙම පිරිස සිදු කර තිබෙන්නේ බලවත් විෂමාචාරයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම පිරිස සමග ගිය මඟපෙන්වන්නන් හා නිලධාරීන්ගේ සම්බන්ධව විමර්ශනය අවසන් වන තෙක් සේවය අත්හිටුවා විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කිරීමට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පවසයි. මෙවැනි සිදුවීමක් සිදුවන්නේ නම් එම නිලධාරින්ට ඊට මැදිහත්වීමට හෝ ඉහළ නිලධාරින්ට දැනුම් දීමට හැකියාව තිබුනත් ඔවුන් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැත.

ඒමෙන්ම මෙම පිරිස කවුර තරාතිරමක අය වුවත් ඔවුන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට ලිපියක් යවන ලෙස ද අමාත්‍යවරයා ලේකම්වරියට උපදෙස් දුන්නේය.

මේ අතර මෙවැනි සිද්ධි නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ඊයේ අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය. ඒ යටතේ මෙවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන පුද්ගලයින් හා වාහන නැවත වනෝද්‍යානවලට ඇතුල්වීම වැළැක්වීම සඳහා ඔවුන් කළු ලැයිස්තුවට ඇතුළත් කිරීම වැනි වැඩ පිළිවෙළක් ඇරඹීමටත්, එවැනි කටයුත්තක් සිදු කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ප්‍රමාණවත්දැයි සොයා බලන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය නම් වනජීවි හා වෘක්ෂලතා පනතට අවශ්‍ය සංශෝධන පවා ඉදිරිපත් කළ හැකි බවත් කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි පැවැත්වෙන USSEC රැස්වීමට සහභාගිවීමට විදේශ ගත ව සිටියත් ඊයේ (24) මේ සම්බන්ධ සියලු පාර්ශ්ව හා සම්බන්ධ වෙමින් මෙම සිද්ධිය සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *