ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය උණුසුම සමනය කර ගැනීම සඳහා වන සාම සාකච්ඡා පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ඉහළ යාමත් සමඟ අද (16) උදෑසන ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ ඕමාන් පාර්ශවයට අයත් මුහුදු තීරය හරහා නෞකාවලට නිදහසේ ගමන් කිරීමට ඉඩ ලබා දීමට ඉරානය සලකා බලමින් සිටින බව වාර්තා වීමත් සමඟ සැපයුම් අඩාල වීම පිළිබඳ පැවති බිය තරමක් දුරට පහව ගොස් ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ශත 44 කින් පහත වැටී ඩොලර් 94.49 ක් ලෙස සටහන් වූ අතර, ඇමෙරිකානු තෙල් මිල ද ඩොලර් 90.59 දක්වා පහත වැටුණි. මේ අතර සාම සාකච්ඡා සඳහා වන මැදිහත්කරුවෙකු ලෙස පාකිස්තාන හමුදා ප්‍රධානියා මේ වන විට ටෙහෙරාන් නුවරට පැමිණ සිටී. කෙසේ වෙතත්, ස්ථාවර සාම ගිවිසුමක් ඇති වන තෙක් තෙල් මිලෙහි යම් උච්චාවචනයන් පවතිනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.














