ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ 2026 විවෘත දිනයට සමගාමීව, එම විශ්වවිද්‍යාලයීය කලා කවය මඟින් පළමු වරට සංවිධානය කරනු ලබන ‘අරුමැසි’ සිනමා උළෙල සැප්තැම්බර් මස 17 වනදා සිට 19 වනදා දක්වා විවෘත විශ්වවිද්‍යාලීය නව ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම සිනමා උළෙලේදී ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ ප්‍රකට සිනමා නිර්මාණ ත්‍රිත්වයක් වන ‘සමනල සංධ්වනිය’, ‘මිදුණු විශ්වය’ සහ ‘ඝරසර්ප’ යන චිත්‍රපට නොමිලේ තිරගත කිරීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා අධ්‍යාපන පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා කලා කවයේ සභාපතිනී ආචාර්ය අයෝමි ඉරුගල්බණ්ඩාර මහත්මිය සඳහන් කළේ, දශක හතරක විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ මෙවැනි සිනමා උළෙලක් පවත්වන පළමු අවස්ථාව මෙය වන අතර මහජනතාවට විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණ මෙම කලාත්මක අත්දැකීම ලබාගැනීමට විවෘත ආරාධනා කරන බවයි.
සිනමා උළෙල පුරා සෑම දිනකම පස්වරු 2.30 ට වැඩසටහන් ආරම්භ වන අතර, පස්වරු 2.30 සිට 3.00 දක්වා ප්‍රමුඛ පෙළේ විචාරකයින් සහ අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සිනමා සංවාදයක් පැවැත්වේ. ඒ අනුව සැප්තැම්බර් 17 වනදා ‘සමනල සංධ්වනිය’ චිත්‍රපටය පිළිබඳව ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම මහතා ද, සැප්තැම්බර් 18 වනදා ‘මිදුණු විශ්වය’ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්ය ලොකුලියනගේ මහතා ද, සැප්තැම්බර් 19 වනදා ‘ඝරසර්ප’ පිළිබඳව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ මහතා ද සංවාදයට එක්වීමට නියමිතය.
විශ්වවිද්‍යාලය තුළ සෞන්දර්යාත්මක ගුණාංග සහ පරිකල්පන ශක්තිය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් සංවිධානය වන මෙම සිනමා උළෙලට සමගාමීව එළඹෙන මාසයේදී ‘ක්ෂේත්‍රයට වේදිකාවක්’ නමින් වේදිකා නාට්‍ය උළෙලක් සංවිධානය කිරීමට ද කලා කවය සැලසුම් කර ඇත.













