අර්බුද රැසකින් පීඩාවට පත්ව ඇති රට ගොඩනැගිය හැක්කේ වැඩ කරන ජනතාවගේ ශ්‍රමයට නිසි ගෞරවය සහ සමාන අවස්ථා ලබා දෙන පාලනයක් තුළින් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. වත්මන් රජයේ අදූරදර්ශී පාලනය සහ අසාධාරණ බදු ප්‍රතිපත්ති හේතුවෙන් රටේ වැඩ කරන ජනතාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින බවත්, එමගින් සාමාන්‍ය ජනතාවගේ පරිභෝජන හැකියාව මුළුමනින්ම බිඳ වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. ආර්ථික ප්‍රතිසංස්කරණ මුවාවෙන් කම්කරු නීති ලිහිල් කරමින් ශ්‍රමිකයාගේ රැකියා සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් කප්පාදු කිරීමට රජය දරන උත්සාහයන් තමන් දැඩි ලෙස හෙළා දකින බව ද හෙතෙම අවධාරණය කළේය. ශ්‍රමිකයා යන්ත්‍රයක් ලෙස නොව රටේ සංවර්ධනයේ සැබෑ සම කොටස්කරුවකු ලෙස සලකන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මානුෂීය ආර්ථික වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවත්, ජීවන වියදමට සරිලන විද්‍යාත්මක වැටුප් ක්‍රමවේදයක් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සේවක සුරක්ෂිතභාවයක් තහවුරු කිරීමට කැපවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පීඩිත පන්තියේ වේදනාව හඳුනන, ඔවුන්ගේ ශ්‍රමයට නිසි ගෞරවය ලබා දෙන පාලනයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් සියලු වැඩ කරන ජනතාවට එක්වන ලෙස විපක්ෂ නායකවරයා මෙහිදී ආරාධනා කර සිටියේය.














