අධිකරණ තීන්දු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි දින රැලියේදී සිදුකළ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගත යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අවධාරණය කරති.
අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමටත් පෙර ඒ පිළිබඳව පූර්ව නිගමනවලට එළඹෙමින් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු බලපෑමක් බව විපක්ෂය පෙන්වා දෙයි. මෙය නීතියේ ආධිපත්‍යයට මෙන්ම අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු කිරීමට හේතු වන අත්තනෝමතික ක්‍රියාවක් බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
විධායකයේ ප්‍රධානියා ලෙස අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමට බැඳී සිටින ජනාධිපතිවරයා, මෙවැනි ප්‍රකාශ මඟින් විනිසුරුවරුන්ට අනියම් බලපෑමක් සිදු කරන බවට විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරති. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද දැනටමත් සිය කනස්සල්ල පළ කර ඇති අතර, විපක්ෂය අවධාරණය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට ගරු කරමින් මෙම ප්‍රකාශය නිවැරදි කළ යුතු බවයි.














