27 April 2024
#දේශීය

ගිනිගත් නෞකාව වහාම, ගැඹුරු මුහුදට රැගෙන යාමට නියෝගයක් නිකුත් කෙරේ – ජනපති

කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.

ඒ අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ සාකච්ඡාවේදී මේ බව තීරණය කෙරිණ.

මැයි මස 09 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 19 වනදා කොළඹ වරාය ආසන්නයට නෞකාව පැමිණීම දක්වා සියලු තොරතුරු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අනාවරණය කළේය.

ආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දුන්හ. එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය අවම කරගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බව ඔවුන්ගේ යෝජනාව විය.

ඒ අනුව තාක්ෂණික කාරණා පදනම් කර ගනිමින් නීතිපතිවරයාගේ ද උපදෙස් මත, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිට ඇති බලතල ප්‍රකාරව නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහාම නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

ගනු ලබන තීරණය තාක්ෂණික කරුණු මත පමණක් පදනම් විය යුතු බව සහ දේශපාලන කාරණා ඒ සඳහා අදාළ කර නොගත යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, නාලක ගොඩහේවා, නීතිපති සංජය රාජරත්නම්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු, නාවුක හා ගුවන් හමුදාපතිවරු, වරාය, සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය, නාරා ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *