ඇකඩමි සම්මානලාභී වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ පාවෙල් ටලන්කින් (Pavel Talankin) තමා විසින් දිනාගත් ඔස්කාර් සම්මානය සමඟ ගුවන් යානයකට නැගීමට උත්සාහ කිරීමේදී එය අතුරුදහන් වීමේ පුවතක් වාර්තා වේ. නිව්යෝර්ක් ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ගුවන් ආරක්ෂක අංශ විසින් එම සම්මානය ආයුධයක් ලෙස භාවිතා කළ හැකි බව පවසමින් එය අතැතිව ගුවන් යානයට රැගෙන යාම තහනම් කර තිබේ.
අනතුරුව ජර්මනිය බලා ගිය ගුවන් යානය සඳහා ලුෆ්තන්සා (Lufthansa) ගුවන් සේවය විසින් එම සම්මානය පෙට්ටියක බහා බහාලුම් අංශයට යොමු කර ඇතත්, ජර්මනියට ගොඩ බැසීමෙන් පසු සම්මානය අතුරුදහන් වී ඇති බව ටලන්කින් පවසයි. “Mr Nobody Against Putin” නම් සිය වාර්තා චිත්‍රපටය වෙනුවෙන් මෙම සම්මානය හිමි වූ අතර, තමන් මීට පෙර බොහෝ වාරයක් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා මෙම සම්මානය සාර්ථකව රැගෙන ගොස් ඇති බව ඔහු සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලුෆ්තන්සා ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තමන් අතිශය කනගාටුව පළ කරන බවත්, සම්මානය කඩිනමින් සොයාගෙන භාර දීමට මේ වන විට පූර්ණ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වමින් සිටින බවත්ය. රුසියාවේ සිට යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ ප්‍රචාරණයන් පිළිබඳව රූගත කළ මෙම වාර්තා චිත්‍රපටය මේ වන විට රුසියාව තුළ තහනම් කර ඇති අතර, පාවෙල් ටලන්කින් ද මේ වන විට යුරෝපයේ අනාථව වාසය කරයි.














