පසුගිය ජූනි මස අගභාගයේ සිට පාකිස්තානයට ඇදහැලෙන අධික මෝසම් වර්ෂාව සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගතවූ මාසය ඇතුළත අවම වශයෙන් පුද්ගලයින් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය තහවුරු කරයි.
වර්ෂාව හේතුවෙන් සිදු වූ නිවාස කඩා වැටීම්, දියේ ගිලීම් සහ විදුලි සැර වැදීම් වැනි අනතුරුවලින් තවත් පුද්ගලයින් 344 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ‘ඩෝන්’ (Dawn) පුවත් සේවය වාර්තා කළේය. පන්ජාබ් සහ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තවලට මෙමඟින් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ලාහෝර් සහ ගුජරන්වාලා ප්‍රදේශවල වර්ග කිලෝමීටර් 400කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබේ.
අවතැන්වූවන් වෙනුවෙන් සහනාධාර කඳවුරු රැසක් ස්ථාපිත කර ඇති අතර, පන්ජාබ් ප්‍රාන්ත මහඇමැතිනී මරියම් ෂරීෆ්ගේ මෙහෙයවීමෙන් හදිසි සහනාධාර කණ්ඩායම් යොදවා මුදවා ගැනීමේ කටයුතු සක්‍රියව සිදු කෙරේ. ඉදිරි දින කිහිපයේදී ද මෙම වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවයි.















