සුහද සංචාරයක් සඳහා ඉකුත් 12 වනදා මෙරටට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යන යුද නෞකාවන් ද්විත්වය සිය සංචාරය සාර්ථකව නිමා කරමින් අද (15) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. මෙම නෞකාවන් පිටත්ව යාමට ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව ‘LION STAR V’ නමින් ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයක ද නිරත වූ බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.
සංචාරය අතරතුර නෞකාවන්හි අණදෙන නිලධාරීන් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර මහතා හමුවී සුහද සාකච්ඡාවල නිරත විය. කලාපීය නාවික හමුදාවන් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ ඉන්දීය සාගර කලාපයේ පවතින ආරක්ෂක අභියෝගයන්ට සාමූහිකව මුහුණ දීම සඳහා අවශ්‍ය නව දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම සංචාරයේ සහ ඒකාබද්ධ අභ්‍යාසයේ මූලික අරමුණ වී තිබුණි.
















