ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් නිමා කිරීම සඳහා වන සාම සාකච්ඡා කඩිනම් කරවීම වෙනුවෙන් පාකිස්ථානය සිය රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් තදින්ම ඉහළ නංවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දෙපාර්ශවය අතර බිඳවැටීමට ලක්ව ඇති සාම සාකච්ඡා නැවත නිසි මඟට ගැනීම සඳහා පාකිස්ථාන හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීර් මහතා (Asim Munir) ඉරානයේ ටෙහෙරාන් නුවර බලා යාමට සූදානමින් සිටින බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.
යුරේනියම් විදේශගත නොකළ යුතු බවට ඉරාන උත්තරීතර නායකයා දැඩි ස්ථාවරයක පසුවීමත්, තමන්ට අවශ්‍ය නිවැරදි පිළිතුරු නොලැබුණහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) අනතුරු ඇඟවීමත් නිසා කලාපය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. දෙපාර්ශවය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර සති හයක් ගතවී ඇතත් සාම සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට නොලැබෙන අතර, ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මෙවන් පසුබිමක, පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ද පසුගියදා ටෙහෙරාන් නුවර වෙත ගොස් ඇති අතර, සන්නිවේදන කටයුතු ක්‍රමවත් කරමින් සාම සාකච්ඡා කඩිනම් කිරීම පාකිස්ථානයේ ප්‍රධාන අරමුණ වී ඇත.














