27 April 2024
#දේශීය

එළැඹෙන 04 වනදා සිට පාර්ලිමේන්තුව දින 5ක් රැස් වේ

පාර්ලිමේන්තුව රැස්වීම් එළැඹෙන 04 වනදා සිට එම සතියේ දින 5ම පැවැත්වීමට අද (30) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සඳුදා (04) විශේෂ පාර්ලිමේන්තු දිනයක් වන අතර, කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අවස්ථාව ලබාදීම, එහිදී සිදු කෙරේ. රජයේ සහ සභානායකවරයාගේ අදහස අනුව මෙම දිනය යෝජනා කර තිබේ.

අඟහරුවාදා (05) මුදල් හා බදු සම්බන්ධ නියෝග හා රෙගුලාසි කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය බදාදා (06) පැවැත්වීමට නියමිත බවයි.

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාවේ දේශීය තෙල් හා වායු ගවේෂණ සහ නිෂ්පාදන කර්මාන්තය කාර්යක්ෂම ලෙස කළමණාකරණය කිරීම අර්ථ නිරූපනය කිරීම, නියමිත පරිදි සිදුවනු ඇත. මෙම පනත් කෙටුම්පත අනුව “ශ්‍රී ලංකා ඛණිජ තෙල් සංවර්ධන අධිකාරිය” නමින් නියාමන අධිකාරියක් පිහිටුවන අතර විෂය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන එහි අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් සාමාජිකයන්ගේ සුදුසුකම් රෙගුලාසි මඟින් නිශ්චිත කර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත යුතු බවටද ප්‍රතිපාදන සලසා ඇත. එවැනි ප්‍රතිපාදනයක් සලසා ඇති ප්‍රථම පනත මෙය වෙයි. මෙම අධිකාරිය පිහිටුවීම මඟින් මෙරට ඛනිජ තෙල් කර්මාන්තයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට මෙන්ම කර්මාන්තය නියාමනය, කළමනාකරණය සඳහා ශක්තිමත්- පාරදෘශ්‍ය කාර්යය පටිපාටියක් සකස් කිරීමට ප්‍රතිපාදන සැලසේ.

ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත හා සේවක අර්ථ සාධක අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවිමේ විවාද බ්‍රහස්පතින්දා (07) පැවැත්වීමට නියමිතය.

සිකුරාදා (08), මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති, “වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2021” පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *