භාණ්ඩාගාරයේ මුදල් අවභාවිත වූ බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ණය කළමනාකරණ පනතට (Public Debt Management Act) අනුව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයට අභියෝග කරයි. පසුගියදා තමන් හමුවීමට පැමිණි මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා” යැයි ජනාධිපතිවරයා මාතලේ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කළ ප්‍රකාශය අගය කළ හිටපු ජනාධිපතිවරයා, භාණ්ඩාගාර හොරකම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට දැන් හොඳම අවස්ථාව එළඹ ඇති බව පෙන්වා දුන්නේය. රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 3 වන හෝ 4 වන වගන්ති අනුව අදාළ විෂය භාර අමාත්‍යවරයා වගකිවයුතු බව පැහැදිලිව දක්වා ඇති බැවින්, ආණ්ඩුවේ පිරිස්වල තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීම් සිදු කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මීට අමතරව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවූ අවස්ථාවේ කොළඹට පැමිණි අතිවිශාල ජනකාය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. රජය අපේක්ෂා කළාට වඩා වැඩි පිරිසක් හදිසියේ පැමිණීම නිසා ආණ්ඩුව යම් තිගැස්මකට ලක්වූ බවත්, ඒ හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම පැය එකහමාරක් වැනි කෙටි කාලයකට සීමා වූ බවත් මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දුන්හ.














