27 April 2024
#Uncategorised

16 වනදා සජබ වෙනුවෙන් කොළඹ එන සෑම පුද්ගලයෙකුම PCR කරන්න – තිස්ස කුට්ටිආරච්චි

සජබ දැන් රටම එකවර කොරෝනා රැල්ලකට ගෙන්න 16 වෙනිදා සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා මෙසේ අදහස් පල කලේය ” අපි දැන් 2022 අයවැය අභියස සිටින්නේ. මේ මාසයේ 12 වැනිදා ආණ්ඩුවේ පුරෝගාමී නායකයා වන මුදල් අමාත්‍යවරයා ජනතාව වෙනුවෙන් සුභවාදි අයවැයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතුමාගෙන් පිටවෙච්ච වචනයක් අල්ලගෙන සමාජ මාධ්‍යවල විවිධ ප්‍රචාරයන් අරගෙන යනවා. ඒ වචනයේ පරිසමාප්ත අර්ථය නොදැන තමයි බොහෝ දෙනෙක් කතා කරන්නේ. රටේ මුල්‍ය තත්වයේ යම් අස්ථාවර තත්වයක් එන විට මුදල් අමාත්‍යවරයා විදිහට මහ විශාල වගකීමක් තිබෙනවා. ඒ නිසා එතුමා කෙටිකාලීන සැලසුම් තුළ ‍නොවේ ඉන්නේ. එතුමා සිටින්නේ දිගුකාලීන සැලසුම් තුළයි. ඒ නිසා 2022 අයවැය තුළදි එතුමා ජනතාවගෙන් ගැනීමට හැදුවේ මේ රටේ නිෂ්පාදන ද්‍රව්‍යයි. එතුමා හිතන්නේ මේ රට ඉස්සරහට ගෙනියන්න නම් පිටරටින් ගේන දේවල් නතර කරලා අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ සංකල්පයට අනුව මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් පමණයි මේ රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ කියලා. ජේ.ආර්. ගේ සංකල්පයත් සමඟ මේ රට විනාශ වෙලා ගියා. සියලු ද්‍රව්‍ය පිටරටින් ගේනකන් බලාගෙන ඉන්න ජාතියක් බවට පරිවර්ථනය වුණා. එය නතර කරන යුගය ආරම්භ කරලා පරිවර්තන යුගයේ මුදල් අමාත්‍යවරයා බවට බැසිල් රාජපක්ෂ මැතිතුමා පත්වෙනවා. ඒ නිසා තමයි එතුමා කිව්වේ ජනතාවගෙන් ගන්න අයවැයක් කියලා. මොනවද ජනතාවගෙන් ගනු ලබන්නේ නිෂ්පාදන ද්‍රව්‍යයි. ඒ වෙනුවෙන් මෙතුමා දිවා රාත්‍රි නොබලා ග්‍රාමසේවා වසමකට ලක්ෂ 30 ක් ද පක්ෂ භේදයකින් තොරව සෑම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකුටම ලක්ෂ 40 ක් ලබා දීමේ වැඩපිළිවෙලක් හදලා තිබෙනවා. එසේම මේ රටේ තිබෙන කුඩා කර්මාන්තයේ සිට මහා පරිමාණ කර්මාන්තයක් සඳහා ඉහළට යන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. මේ රටේ නිෂ්පාන ව්‍යාපෘති සඳහා ජිවනෝපාය සංවර්ධනය සඳහා මුදල් යොදවන වැඩපිළිවෙළ සකස් කර තිබෙන නිසායි එතුමා කිව්වේ ජනතාවගෙන් ගන්න අයවැයක් කියලා. මේකට අකුල් හෙලන්න එපා. පක්ෂ විපක්ෂය පැත්තකින් තියලා මේ රටේ නිෂ්පාදන ව්‍යාපෘති සමඟ මේ රට හදාගන්න අපිට අවකාශය ලබා දෙන්න. අපි ආණ්ඩුව හැදුවේ පොහොට්ටුව ඒකාබද්ධ වූ සුළු පක්ෂ ගනණාවක් ඒකාරාශී වෙලායි. අපි හැමෝම එක අම්මගේ දරුවෝ වගේ එකට ඒකාරාශිවෙලා තමයි මේ පොහොට්ටුව හදලා මේ ආණ්ඩුව හැදුවේ. ඒ අමාරුවෙන් හදපු ආණ්ඩුවේ අමාරු කාලයේදී ආණ්ඩුව රැක ගැනීමේ වගකීමක් සුළු පක්ෂවලට තිබෙනවා. දැන් අපිට පේනවා මේකේ ඇතුලේ ඉඳගෙන කකුලෙන් ඇඳ ඇඳා තමන්ගේ පෞද්ගලික දේශපාලන මති මතාන්තර කරා යන වැඩපිළිවෙළක් සිදු වෙනවා කියලා. සජබ දැන් රටම එකවර කොරෝනා රැල්ලකට ගෙන්න 16 වෙනිදා සූදානම් වෙනවා. ජනතා නියෝජිතයෙක් විදිහට අතිගරු ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා 16 වෙනිදා කොළඹට පැමිණෙන සෑම පුද්ගලයෙකුම, ස්ථානයක කිහිපයකදි PCR පරීක්ෂණයට භාජනය කරන්න කියලා. නැතිනම් එන අය කොරෝනා රෝගය ගමට අරගෙන ගියපු ගමන් මේ පස්වෙනි රැල්ල හදන එක නවත්තන්න බෑ කියලා කියනවා.” යැයි මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් අදහස් පල කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *