පිටසක්වල ජීවීන් සහ හඳුනානොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් මෙතෙක් අතිශය රහසිගතව තබාගෙන සිටි ලේඛනවල දෙවන කොටස ප්‍රසිද්ධියට පත් කිරීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝගයකට අනුව මෙහි පළමු ලේඛන සමූහය පසුගිය මැයි 8 වැනිදා ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර, 1970 දශකයේ අගභාගයේදී ආරම්භ වූ UFO පිළිබඳ රජයේ වාර්තා හෙළිදරව් කිරීමේ ක්‍රියාවලිය යටතේ, මෙම තොරතුරු ජනගත කිරීමට පියවර ගත් නවතම අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ද ඔහුය.
මෙවර නිකුත් කර ඇති අලුත්ම තොරතුරු සහ වාර්තාවල අන්තර්ගතය මෙසේය:
අද්භූත දර්ශන සහ ලේඛන 222ක්:
මෙවර නිකුත් කරන ලද සමස්ත ලේඛන 222 අතර, අහසේ දර්ශනය වූ අද්භූත කොළ පැහැති ආලෝක ගෝල (Green Orbs), තැටි හැඩැති වස්තූන් (Discs) සහ ගිනි බෝල (Fireballs) පිළිබඳ විවිධ පුද්ගලයන් කළ ප්‍රකාශ රැසක් ඇතුළත් වේ. නිල වශයෙන් “හඳුනානොගත් විෂම සංසිද්ධි” (Unidentified Anomalous Phenomena – UAP) ලෙස හැඳින්වෙන මෙම ලේඛන, ඡායාරූප සහ වීඩියෝ පට මහජනතාවට දැකබලා ගැනීමට සැලැස්වීමට කාලය පැමිණ ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මහතා ප්‍රකාශ කර ඇත.
‘සැන්ඩියා’ රහස් යුද කඳවුරේ වාර්තාව:
මෙම ලේඛන අතර 1948 සිට 1950 දක්වා කාලය තුළ නිව් මෙක්සිකෝහි පිහිටි ‘සැන්ඩියා’ (Sandia) නම් අතිශය රහසිගත යුද කඳවුරක් ආශ්‍රිතව සිදුවූ විමර්ශනවලට අදාළ පිටු 116ක විශේෂ වාර්තාවක් ද ඇතුළත් වේ. ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, එම රහසිගත යුද කඳවුර අවට අහසේ කොළ පැහැති ආලෝක ගෝල, තැටි සහ ගිනි බෝල දර්ශනය වූ සුවිශේෂී අවස්ථා 209ක් පිළිබඳ නිල තොරතුරු මෙම ගොනුවෙහි සටහන්ව තිබේ.
















