කිසියම් රටක ශිෂ්ඨ සම්පන්නභාවය මැනෙන මිනුම් දණ්ඩක් ලෙස එම රටෙහි සිදුවන අපරාධ සංඛ්‍යාව සලකනු ලබයි. අපරාධ සංඛ්‍යාව අඩු වේ නම් එය ශිෂ්ඨත්වයේ ඉහළ තත්ත්වයක් ළඟාකරගැනීමක් ලෙස සැලකේ. එසේම කිසියම් රාජ්‍ය ආයතනයක සුපිළිපන්නභාවය පිළිබඳව තීරණය කිරීමට එම ආයතනයට එරෙහිව ඉදිරිපත්වන මානව හිමිකම් නඩු සහ වෙනත් නඩු කටයුතුවල අඩු වැඩි වීමද සලකා බැලිය හැකිය. පරිපාලනමය තීරණයන්ට එරෙහිව ඉහළ අධිකරණ වෙත ඉදිරිපත්වන නඩු කටයුතු ඉහළ යාම මගින් පෙන්නුම් කරන්නේ එකී ආයතනය තුළ නීතියේ ආධිපත්‍ය බිඳවැටී, අත්තනෝමතිකත්වය හිස ඔසවා තිබෙන බව මිස අන් යමක් නොවේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බලධාරීන් විසින් මානව හිමිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයද, මානව හිමිකම් කොමිසමද ලබාදුන් තීන්දු ගණනාවක් ආසන්න කාලයේ ප්‍රකාශයට පත්ව ඇත. එසේම එහි නීතියට පටහැනි තීරණයන්ට එරෙහිව රිට් ආඥා ගණනාවක්ද අභියාචනාධිකරණය විසින් පසුගිය කාලයේ නිකුත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේද, අභියාචනාධිකරණයේද, වෙනත් අධිකරණවලද පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එරෙහි නඩු කටයුතු ගණනාවක් මේ වන විටත් විභාගයට ගැනෙමින් පවතී. සේවකයන් විසින් පරිපාලනමය තීරණයන්ට එරෙහිව පවරා ඇති මෙම නඩු සංඛ්‍යාව ඉහළ යාමෙන් පෙනී යන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීතියේ අධිකාරිය බරපතල ලෙස කඩාවැටීමකට ලක්ව තිබෙන බවය.
මෙම තත්ත්වය පිළිබඳව උපකුලපතිවරයා සහ නියෝජ්‍ය උපකුලපතිවරයාගේ අදහස බව ඉහළම මට්ටමේ සාකච්ඡා මේසවලදී පවා කියැවී තිබෙන්නේ “නඩු 100ක් තියෙන තැන ඒක 101 වුණාට ප්‍රශ්නයක් නෑ” යන්නය. මෙවැනි අසංවේදී මිනිසුන් වහසි බස් දොඩවන්නේ තමන්ගේ පෞද්ගලික මුදලින් නොව මහජන බදු මුදලින් සූදු කෙළිමින් වන බැවින් මේවාද මහජන මුදල් අවභාවිතාවන්ට ගැනෙන බව අපගේ අදහසය. ඒ නිසා ජනාධිපතිවරයා සහ අල්ලස් කොමිසම ඇතුළු නිසි බලධාරීන් ඒ පිළිබඳව සොයා බැලිය යුතුය.
මේ අතර වාර්තා වන අලුත්ම ප්‍රවෘත්තිය වන්නේ තවත් මහාචාර්යවරයෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පවරා තිබෙන බවය. පශු වෛද්‍ය පීඨයේ මහජන සෞඛ්‍ය සහ ඖෂධවේද දෙපාර්තමේන්තුවේ හිටපු අංශ ප්‍රධාන මහාචාර්ය රුචික ප්‍රනාන්දු විසින් පවරා තිබෙන මෙම රිට් පෙත්සම මගින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාව, එහි උපකුලපති ඇතුළු වගඋත්තරකරුවන් 31 දෙනෙකු නම් කර තිබෙන අතර, වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුට අගතිදායක ලෙස ගෙන තිබෙන නීතියට පටහැනි තීරණ කිහිපයක් බලරහිත කිරීම සඳහා සර්ටියෝරාරි සහ ප්‍රොහිබිෂන් රිට් ආඥා කිහිපයක් ඉල්ලා සිට තිබේ.
මහාචාර්යවරුන්ටත් කරුණු කාරණා සිද්ධවන්නේ එසේ නම් අවශේෂ සේවකයන් ගැන කවර කථාදැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්වවිද්‍යාල ප්‍රජාව කියා සිටී.















