පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජේම්ස් පීරිස් පිරිමි නේවාසිකාගාරයේ උපශාලාධිපති එම්.එම්.එල්.දේශප්‍රිය යන අයට එරෙහිව බරපතල විෂමාචාර චෝදනා මත විධිමත් විනය පරීක්ෂණයක් කැඳවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කටයුතු කර තිබෙන බව අප වෙත වාර්තා වේ.
ජේම්ස් පීරිස් පිරිමි නේවාසිකාගාරයේ කාමරයක විශ්වවිද්‍යාලයට පරිබාහිර පුද්ගලයෙකුට නවාතැන් සපයාදීම සම්බන්ධයෙන් ලැබී තිබුණ තොරතුරක් මත උපකුලපති ටෙරන්ස් මධුජිත් ආරක්ෂක නිලධාරීන්ද සමග සිදුකරන ලද ස්ථාන පරීක්ෂාවකදී අදාළ කරුණ සනාථ වී තිබී ඇත. ඒ අනුව විෂයගත සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් විශ්‍රාමික විගණන නිලධාරියෙකු වන එච්.එම්.කරුණාතිලක යන අය විසින් සිදුකරන ලදුව අදාළ පුද්ගලයාට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට තරම් කරුණු ඇති බවට ඔහුගේ වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
ඒ අනුව ලලිත් දේශප්‍රිය නැමැති උපශාලාධිපතිවරයාට එරෙහිව බරපතල විෂමාචාර චෝදනා මත විධිමත් විනය පරීක්ෂණයක් කැඳවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කටයුතු කර ඇත.
කරුණාතිලක මහතාගේ විමර්ශන වාර්තාව මගින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ආරක්ෂක නිලධාරීන් මෙවැනි සෝදිසි කිරීම් සහ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ප්‍රමාණවත් වෘත්තීමය තත්ත්වයකින් කටයුතු නොකරන බව නිරීක්ෂණය වන බවත් එම හේතුවෙන් විනය පරීක්ෂණ කටයුතු වල චෝදනා ඔප්පු කිරීමේදී ප්රශ්නකාරී තත්ත්වයන් පැන නගින බවත් කියා සිටිමින් ආරක්ෂක නිලධාරීන් සඳහා අදාළ පරීක්ෂා කිරීම් වලදී අනුගමනය කළ යුතු නීතිමය තත්ත්වයන් සහ සාක්ෂි රැස් කිරීම ආදී කටයුතු සම්බන්ධව නිසි පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවයද අවධාරණය කර ඇත.














