පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයක් ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් රුපියල් මිලියන 330ක මුදලක් ගල් වී තිබෙන තත්ත්වයක් පසුගිය අගෝස්තු 19 වන දින පැවැති කෝප් කමිටු සමාලෝචනයේදී හෙළිදරව් වී තිබේ.
මහා භාණ්ඩාගාරය විසින් මීට වසර 5කට පමණ පෙර ලබා දුන් මෙම අතිවිශාල මුදලින් මිලියන 39ක් වැය කර ඒ සඳහා වන සැලසුම් සකස් කර උපදේශන සේවා ලබාගෙන තිබෙන නමුත් අද දිනය වන විටත් එකදු ගඩොලක් හෝ බැඳ නැති බවත්, ඉතිරි මුදල වන රුපියල් මිලියන 291ක (කෝටි 29.1) මුදල ආගිය අතක් නොමැති තත්ත්වයකට පත්ව තිබෙන බවත් එහිදී හෙළිදරව් වී ඇත.
පශ්චාත් උපාධි ආයතනය ඉදිකිරීම සඳහා වෛද්‍ය පීඨය මධ්‍යයේ (පේරාදෙණිය රෝහලට ආසන්නව) භූමි භාගයක් ලබා දී එහි අදාළ ගොඩනැගිල්ලේ සැලසුම සහිත විශාල දැන්වීම් පුවරුවක් පවා සවිකර තිබුණ නමුත්, ලක්ෂ ගණනක් වැය කර ඉදිකරන ලද එම දැන්වීම් පුවරුවද මේ වන විට තිබෙන තැනක් සොයා ගැනීමට නොහැකි වී ඇත.
පේරාදෙණිය පොලිසිය කලින් පවත්වාගෙන යන ලද්දේ ගැටඹේ පන්සල ආසන්නයේ තිබූ විශ්වවිද්‍යාලය සතු නිල නිවාසයකය. පොලිසිය සඳහා ඒ ආසන්නයේ නව දෙමහල් ගොඩනැගිල්ලක් රජය විසින් ඉදිකර දීමෙන් පසුව පොලිසිය කලින් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල අත්හැර දමා තිබුණි. පේරාදෙණි පාලකයන් වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය එම පැරණි ගොඩනැගිල්ලේ පවත්වාගෙන යාමට කටයුතු කර නව ගොඩනැගිල්ල ඉදිකිරීම සම්පූර්ණයෙන්ම අමතක කර දමා තිබේ. එසේ වුවත් ඒ සඳහා වෙන් කළ මිලියන 330ක මුදල නැවත මහා භාණ්ඩාගාරය වෙත යැවීමට කටයුතු කර තිබුණේ නැත.
මෙම තත්ත්වය හේතුවෙන් වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මේ වන විටත් වැය කර තිබෙන මිලියන 39ක මුදල සම්පූර්ණයෙන්ම නිෂ්කාර්ය වැය කිරීමක් බවට පත්ව තිබේ.
යම් ව්‍යාපෘතියක් සඳහා වෙන් කළ මුදල් වර්ෂාවසානය වන විටත් වැය කර නොතිබුණේ නම් එම මුදල් නැවත මහා භාණ්ඩාගාරය වෙත යැවීම නියමිත ක්‍රමවේදය වුවත්, වර්ෂ ගණනාවක්ම එසේ සිදු නොකර සිටීම බරපතල විෂමාචාරයක් වන අතර එකී මුදලින් ඉතිරි මිලියන 291ක මුදලට මේ වන විට සිදුව තිබෙන්නේ කුමක්දැයි පැහැදිලි කිරීමටද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍යාධිකාරීවරයා අසමත් වී තිබේ.
















