පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවන වටයට සුදුසුකම් ලබා සිටින වාමාංශික අපේක්ෂක රොබර්ටෝ සැන්චෙස්හට (Roberto Sanchez) මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් එරට රජයේ අභිචෝදකයෙකු විසින් චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැතිවරණ බලධාරීන් විසින් ඔහු දෙවන වටයට සුදුසුකම් ලබන බව තහවුරු කර පැය කිහිපයකට පසුව මෙම චෝදනා එල්ල වීම විශේෂත්වයකි.
අදාළ අභිචෝදකයා විසින් සැන්චෙස් වරදකරු වුවහොත් ඔහුට වසර පහකුත් මාස හතරක සිර දඬුවමක් පනවන ලෙසත් ඔහු අපේක්ෂකත්වයෙන් ඉවත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා ඇත. සැන්චෙස්හට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා වන්නේ 2020 සහ 2021 වසරවල ඔහුගේ පක්ෂය ඉදිරිපත් කළ මූල්‍ය වාර්තාවල මැතිවරණ ප්‍රචාරක දායකත්වයන් පිළිබඳ අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීම සහ පරිපාලන කටයුතුවලදී අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමයි.
පසුගිය මාසයේ පැවති පළමු වටයේ ඡන්ද ගණන් කිරීමේ වාර්තාවලට අනුව 99.76%ක ප්‍රතිඵල නිකුත් වන විට සැන්චෙස් සිය ගතානුගතික ප්‍රතිවාදී අපේක්ෂක කෙයිකෝ ෆුජිමෝරි (Keiko Fujimori) සමඟ දෙවන වටයේදී තරග කිරීමට නියමිතව සිටියේය. මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සැන්චෙස්ගේ නීතිඥයා ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ මූල්‍ය වාර්තා සඳහා වගකිව යුත්තේ එහි භාණ්ඩාගාරික මිස අපේක්ෂකයා නොවන බව පවසමින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය මැයි 15 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
















