ඛණිජ තෙල් සංස්ථාවේ ලාභාංශ බෙදා හැරීමේ ක්‍රියාවලිය සහ ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සිය විරෝධය පළ කර තිබේ.
මෑතකදී නිකුත් කළ මහ බැංකු වාර්තාවට අනුව 2025 වසර සඳහා ඛණිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 36.4ක ලාභයක් වාර්තා කර ඇත. එම ලාභයට 2025 වසර තුළ බෙදුම්කරුවන්ගෙන් කපා ගත් වට්ටම් මුදල් ද ඇතුළත් බවට සංගමය චෝදනා කරයි.
1961 වසරේ සිට බෙදුම්කරුවන්ට හිමි වූ ලාභාංශ කොටස 2025 මාර්තු 01 දින සිට සංස්ථාව විසින් ඒකපාර්ශ්විකව අඩු කර ඇති බව සංගමය පවසයි. මීට පෙර ස්ථිර කර තිබූ 3%ක මෙහෙයුම් ලාභාංශ ප්‍රතිශතය නව කළමනාකරණය විසින් 1.5% දක්වා අඩු කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම ලාභාංශ කප්පාදුව හේතුවෙන් ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව සංගමය අවධාරණය කරයි. මේ හේතුවෙන් සංස්ථාව යටතේ පවතින සමුපාකාර පිරවුම්හල් 200කට ආසන්න සංඛ්‍යාවක් සහ ග්‍රාමීය ප්‍රදේශවල පිරවුම්හල් රැසක් වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බවත් මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවත් සංගමය සඳහන් කරයි.
2022 නොවැම්බර් මස අනුමත වූ මිල සූත්‍රයට අනුව විදේශීය තෙල් සමාගම් සඳහා 4%ක ලාභාංශයක් සහ 2%ක මෙහෙයුම් ලාභාංශයක් හිමිවන අතර බෙදුම්කරුවන්ට 3%කට ආසන්න ලාභාංශයක් හිමි විය යුතුව තිබූ බව සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.














