තමා අත්අඩංගුවට ගැනීම අතලඟ බව පවසන පිලිපීන සෙනෙට් සභික රොනල්ඩ් “බටෝ” ඩෙලා රෝසා (Ronald “Bato” dela Rosa), තමා ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) වෙත භාර දීම වැළැක්වීම සඳහා පෙළ ගැසෙන ලෙස එරට මහජනතාවගෙන් ඉල්ලා සිටියි. හිටපු පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුතර්තේගේ පාලන සමයේ ක්‍රියාත්මක වූ මාරාන්තික මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ මොහුය.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඩෙලා රෝසාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිකුත් කර තිබූ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් පසුගිය සඳුදා ප්‍රසිද්ධියට පත් කෙරිණි. අත්අඩංගුවට පත්වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඔහු පසුගිය දින තුන පුරා සෙනෙට් මන්ත්‍රී කාර්යාලය තුළම රැඳී සිටින අතර ඔහු මේ වන විට සෙනෙට් මණ්ඩලයේ ආරක්ෂිත භාරයේ පසුවෙයි. තවත් පිලිපීන ජාතිකයෙකු හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යාමට ඉඩ නොදෙන ලෙස ඔහු ෆේස්බුක් වීඩියෝවක් මගින් ජනතාවගෙන් ඉල්ලා ඇත. තමා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාර දීම වැළැක්වීමට මැදිහත් වන ලෙස ඔහු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර්ගෙන් ඉල්ලා ඇති අතර ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හදිසි පෙත්සමක් ද ගොනු කර තිබේ.
හිටපු ජනාධිපති රොඩ්රිගෝ දුතර්තේ ද පසුගිය වසරේ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු මේ වන විට හේග් නුවරදී නඩු විභාගයකට මුහුණ දී සිටියි. ඩෙලා රෝසා පවසන්නේ තමා අත්අඩංගුවට ගැනීම පිලිපීන ජාතික විමර්ශන කාර්යාංශය (NBI) මගින් සිදු කරනු ඇති බවයි.














