පිලිපීනයේ මින්දනාවෝ දූපත ආසන්නයේ සිදුවූ රික්ටර් මාපක 7.8ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් රටේ ප්‍රදේශ කිහිපයක ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් සුන්බුන් බවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම භූ කම්පනය මින්දනාවෝ හි ජෙනරල් සැන්ටෝස් නගරයට ඔබ්බෙන් මුහුදේ හටගෙන ඇති අතර, පිලිපීනය, ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු කලාපීය රටවල් කිහිපයක් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
භූ කම්පනයේ ගැඹුර පිළිබඳව විවිධ ආයතනවල මූලික ඇස්තමේන්තු තරමක් වෙනස් වේ. පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය එය කි.මී. 10ක ගැඹුරකින් සිදුවූ බව පවසන අතර, ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය එය කි.මී. 35ක් බවත්, ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය එය කි.මී. 50ක් බවත් පවසයි.
පාසල් සහ විශ්වවිද්‍යාල ගොඩනැගිලි ඇතුළු ව්‍යුහයන් රැසකට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝ දර්ශනවලින් ගොඩනැගිලි බිමට කඩා වැටෙන අයුරු දැකගත හැකි අතර, පාසල් පරිශ්‍රයක සිසුන් ආරක්ෂිතව විවෘත භූමියක රැඳී සිටින අයුරු ද එම දර්ශනවල සටහන්ව ඇත.
පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් මහතා සියලුම අදාළ රාජ්‍ය ආයතනවලට වහාම ක්‍රියාත්මක වන ලෙස උපදෙස් දී ඇති අතර, වෙරළාසන්න ජනතාවට කඩිනමින් උස් බිම් වෙත ගමන් කරන ලෙස දැඩිව අවවාද කර තිබේ.
















