නැගෙනහිර පළාතේ කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා යන ප්‍රදේශවලදී පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්ට අදාළව, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ඇතුළු දෙදෙනෙක් ලබන 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබේ.
මෙම නඩුවේ තෙවැනි සැකකරු ලෙස නම් කර ඇති ‘පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන් දෙදෙනකු බන්ධනාගාරය මගින් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර, මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ද ඔහු රක්ෂිත භාරයේ පසුවෙයි. 2008 වසරේදී කල්අඩි, කාත්තන්කුඩි සහ කොන්තියාපොල යන ප්‍රදේශවල සිදු වූ මෙම පංච පුද්ගල ඝාතන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වන අතර, නඩුවේ පළමු සැකකරු මෙරටින් පලා ගොස් ඇති බව සී.අයි.ඩී. මඟින් අධිකරණයට දැනුම් දී ඇත.














