ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආගමන පරිපාලනය අතර ආගමන පාලන සහයෝගිතාව තහවුරු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරුව, සංවිධානාත්මක අපරාධ හා මිනිස් ජාවාරම්වලට එරෙහිව දැඩි පියවර ගැනීම, ව්‍යාපාරික, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රවලට අදාළ වීසා පහසුකම් සැලසීම මෙන්ම නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණු වේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ නීතිපතිගේ අනුමැතිය ලත් මෙම යෝජනාව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.














