සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ පවතින බාල ප්‍රමිතියේ ගල්අඟුරු නැවක් නොරොච්චෝලෙට ගෙනවිත් ඇති බවත්, විධිමත් විමර්ශනයකින් තොරව එහි ඇති ගල්අඟුරු ගොඩබෑම සිදු නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිඥ සංගමයේ විනය මණ්ඩල සභාපති නීතිඥ පියල් දර්ශන ගුරුගේ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
පැටවුම් වරාය වාර්තාවලට අනුව 2026 අප්‍රේල් 28 සහ 29 දිනවලදී දකුණු අප්‍රිකාවේ ‘Richards Bay Coal Terminal’ වරායෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් 59,766ක් මෙම නැවට පටවා තිබේ. මේවා ගල්අඟුරු ලෙස ලේබල් කර තිබුණ ද, මෙහි අළු ප්‍රතිශතය ඒකක 16.8ක් ලෙස සටහන්ව ඇත. ලංකා ගල්අඟුරු සමාගමේ ටෙන්ඩර් ලියවිල්ලේ 5.2 කොටසට අනුව ප්‍රතික්ෂේප කළ යුතු උපරිම අළු ප්‍රතිශත අගය (LCC Reject Values for Coal) දැක්වෙන්නේ ඒකක 16ක් ලෙස බැවින්, මෙම ගල්අඟුරු නැව දඩ ගැසීමකින් පසුව හෝ මිල දී ගැනීමට ලංකා රජයට කිසිදු හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.
මීට පෙර රැගෙන ආ ගල්අඟුරු නැව් 18ක් යම් දඩ මුදලකට යටත් කර ගොඩබා තිබුණ ද, පැටවුම් වරාය වාර්තාව අනුව ගොඩබෑමවත් සිදු නොකළ යුතු මට්ටමට ‘ප්‍රමිතියෙන් බාල’ වූ පළමු ගල්අඟුරු නැව මෙය බවත්, මෙහි ගල්අඟුරු වෙනුවට වැඩි වශයෙන් පවතින්නේ අළු බවත් හෙතෙම චෝදනා කළේය. දැනට නොරොච්චෝලෙට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති මෙම නැව ගොඩබෑමට පෙර ලංකා ගල්අඟුරු සමාගම, විගණන කාර්යාලය සහ තාක්ෂණික කමිටු මඟින් විධිමත් විමර්ශනයක් සහ ස්ථානීය පරීක්ෂාවක් වහාම සිදු කළ යුතු බව ද නීතිඥ පියල් දර්ශන ගුරුගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















