ප්‍රංශයේ පැවැත්වෙන කීර්තිමත් ‘හොවාර්ඩ් හින්ටන් සෙවන්ස්’ රග්බි තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා පිරිමි රග්බි සෙවන්ස් කණ්ඩායම ඊයේ දිනයේදී දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ශ්‍රී ලංකා රග්බි සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මෙවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළ වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වීමේ ප්‍රධානතම පියවරක් ලෙස මෙම ප්‍රංශ සංචාරය හැඳින්විය හැකි බවයි. ලෝකයේ ඉහළම මට්ටමේ කණ්ඩායම් රැසක් සමඟ තරග වැදීමට ලැබීම තුළින් ඓතිහාසික ආසියානු ක්‍රීඩා පදක්කමක් දිනාගැනීමේ සිහිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වටිනා අත්දැකීමක් මෙන්ම කණ්ඩායමේ මට්ටම පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබාගැනීමට ද මෙයින් අවස්ථාව සැලසේ.
මෑතකදී මධ්‍යම ආසියානු රග්බි ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා රග්බි සෙවන්ස් සංචිතය තවදුරටත් ශක්තිමත් කරමින් මෙම තරගාවලියට ඉදිරිපත් කර ඇත. කණ්ඩායමේ නායකත්වය පසිඳු සූරියබණ්ඩාර වෙත හිමිව ඇති අතර, උප නායකයා ලෙස ජනිඳු දිල්ෂාන් කටයුතු කරයි. චතුර විදානලාගේ, ආකාෂ් මධුසංඛ, කවිඳු කොස්තා, කවිඳු පෙරේරා, රවිඳු අංජුල, රමිත නිමේෂ්, සුරංග තෙන්නකෝන්, දිලුක්ෂ දංගේ, ගයාන් පෙරේරා සහ චෙමෝද් මුතුනායක යන ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත් වන අතර, දෙනුවන් වික්‍රමාරච්චි, මලික්ෂ පෙරේරා සහ ජයතු රාජරත්න යන ක්‍රීඩකයින් අතිරේක (සූදානමින් තබා ඇති) ක්‍රීඩකයින් ලෙස නම් කර තිබේ.
මෙවර හොවාර්ඩ් හින්ටන් සෙවන්ස් තරගාවලිය සඳහා ප්‍රංශ රග්බි ක්‍රීඩා සමාජ 11ක කණ්ඩායම්වලට අමතරව යුක්රේනය, මොනාකෝ සහ ස්විට්සර්ලන්තය යන රටවල රග්බි සෙවන්ස් කණ්ඩායම් ද තරග වැදීමට නියමිතය.
















