27 April 2024
#දේශීය

අරුවක්කාලු කසල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් – ඇමැති ප්‍රසන්න

අරුවක්කාලු කසල ව්‍යාපෘතිය විධිමත්ව නැවත කඩිනමින් ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී අද (22) දින පැවැති නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදය පිළිබදව අමාත්‍යංශ නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

2017 වසරේ අප්‍රේල් මාසයේදී මීතොටමුල්ල කසල කන්ද ගිලා බැසීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගිය අතර නිවාස සිය ගණනක් විනාශයට පත්විය. මේ හේතුවෙන් කොළඹ නගරයේ කසල අපහරණය සහ කසළ කළමනාකරණය පිළිබඳව විධිමත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.

කොළඹ අග නගරයේ දෛනිකව එකතු වන කසල මෙට්ට්‍රක් ටොන් 1200 ක් පමණ කැලණිය, වනවාසල සිට කිලෝ මීටර 170 ක් පමණ දුරින් පිහිටි පුත්තලම, අරුවක්කාලු කසල අංගනය දක්වා දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු වෙයි.

වර්තමානයේ අරුවක්කාලු කසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේයි. මේ සදහා ඇස්තමේන්තු කර ඇති මුදල ඩොලර් මිලියන 130 කි. අරුවක්කාලු කසල අංගනය සහ කැළණිය, වනවාසල අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානය යන අංගන දෙකෙහි ඉදිකිරීම් මේ වන විට 90% ක් පමණ අවසන් කර තිබේ. චීන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් මෙහි ඉදිකිරීම් කටයුතු කරනු ලබයි.

අමාත්‍යවරයා පැවසුවේ අරුවක්කාලු කසල ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමට තමන් ඉදිරියේදී මහාභාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණයක් සාක්ෂාත් කල හැක්කේ පුද්ගලික ලාභය වෙනුවට මානව අවශ්‍යතා මත කටයුතු කිරීමෙන් පමණක් බවයි. එබැවින් දේශපාලන මතය කුමක් වුවත් මෙවැනි හොඳ ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම සඳහන් කරයි.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු සහ තේනුක විදානගමගේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනිල් විජේසිරි, අරුවක්කාලු කසළ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක සරත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *