දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ලබා දීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ප්‍රාදේශීය මට්ටමින් කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය. අද (අප්‍රේල් 21) අරලියගහ මන්දිරයේ පැවති “Rebuilding Sri Lanka” වැඩසටහනේ විශේෂ සාකච්ඡාවකදී ඇය මේ බව අවධාරණය කළාය. ආපදා හානි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එම සියලු සංවර්ධන කටයුතු 2026 වසර අවසන් වීමට පෙර නිම කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය. දිට්වා සුළිකුණාටුවෙන් සිදු වූ සමස්ත හානිය ඇමරිකානු ඩොලර් බිලියන 3.4ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ද සාකච්ඡාවේදී අනාවරණය විය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්. ආර්.ඩී. අපොන්සු මහතා පෙන්වා දුන් පරිදි, රුපියල් 25,000ක මූලික දීමනාව ලබා දීම 99%ක් අවසන් කර ඇති අතර නැවත පදිංචිය සඳහා ලබා දෙන රුපියල් 50,000 දීමනාව ගෙවීම 95%ක් අවසන් කර තිබේ. එසේම සුරක්ෂා මධ්‍යස්ථාන වසා දැමීම ද මේ වන විට 99%ක් අවසන්ය. මීට අමතරව, ආපදාවෙන් මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ගෙවීම, පාසල් සිසුන් සඳහා රුපියල් 25,000ක ආධාර ලබා දීම සහ දෙමාපියන් අහිමි වූ දරුවන් වෙනුවෙන් විශේෂ වන්දි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය. හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් වෙන් කර ගැනීම සහ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) වාර්තා ලබා ගැනීම කඩිනම් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් උපදෙස් දුන්නාය.














