43 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවර වෙත නිල සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශාස්ත්‍රීය විශේෂඥයින් සමඟ සාකච්ඡාවක නිරත විය.
මෙම සාකච්ඡාවලදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර, විශේෂයෙන්ම ගුරු පුහුණු වැඩසටහන් දියුණු කිරීම, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා වැඩසටහන් පුළුල් කිරීම මෙන්ම අධ්‍යාපන රාමු සහ භාෂා අත්පත් කර ගැනීමේ කුසලතා වැඩිදියුණු කිරීම යන අංශ කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දෙන ලදී.
බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඔවුන් දැනට සිදුකරන කටයුතු පිළිබඳව අගමැතිනිය දැනුවත් කළ අතර, තාක්ෂණික සහය, ගුරු සංවර්ධන මුලපිරීම් සහ ප්‍රතිපත්තිමය සහයෝගිතාව හරහා ශ්‍රී ලංකාවට සහාය වීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළහ.
මීට අමතරව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීම, පර්යේෂණ සහයෝගිතාව පුළුල් කිරීම සහ ඉගෙනුම් අවස්ථා වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය කවුන්සිලය ඉටුකරන කාර්යභාරය අගය කළ අග්‍රාමාත්‍යවරිය, දෙරට අතර පවතින මෙම හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.















