ජනාධිපති අරමුදල සැබෑ ලෙසම ජනතාවාදී අරමුදලක් බවට පත්කර ඇති බවත්, සියලුම දරුවන්ට අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය මේ බව සඳහන් කළේ අද (11) අරලියගහ මන්දිරයේදී පැවැති “සරසවි දිරියෝ අභිමන් 2026” වැඩසටහනට සහභාගි වෙමිනි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත දරුදැරියන් ඇගයීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වර්ගීකරණය යටතේ ප්‍රවේශය ලැබූ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 370 දෙනෙකුට රුපියල් ලක්ෂයක මූල්‍යාධාරයක් ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර ඇති අතර, එහි පළමු අදියර යටතේ සිසුන් 236 දෙනෙකුට චෙක්පත් පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ විශේෂ අවශ්‍යතා සහිත (Neurodivergent, Autism, Dyslexia වැනි) කිසිදු දරුවෙකු අධ්‍යාපන පද්ධතියෙන් බැහැර නොකරන බවයි. විශ්වවිද්‍යාල තුළ ඔවුන්ට අවශ්‍ය ප්‍රායෝගික පහසුකම් සලසා දීමේ වගකීම උපකුලපතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් සතු බවද ඇය අවධාරණය කළාය.
තවද, සහායක තාක්ෂණයන් (Assistive technology) හරහා අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමටත්, පොදු ප්‍රවාහනය හා භෞතික යටිතල පහසුකම් ආබාධිත පුද්ගලයන්ට හිතකාමී ලෙස සංවර්ධනය කිරීමටත් රජය මැදිහත් වෙමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය. මෙම සිසුන් රටට බරක් නොව, තිරසර සංවර්ධනයට දායක විය හැකි වටිනා මානව සම්පතක් බවත්, සියලු දෙනාගේ වටිනාකම් පිළිගන්නා ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කිරීම රජයේ අවසාන අරමුණ බවත් ඇය අවධාරණය කළාය.
















