අනාගත ලෝකය ජයගත හැකි සමබර පෞරුෂයකින් හෙබි නායකත්වයක් බිහිකිරීම උදෙසා ප්‍රාථමික අධ්‍යාපන අවධියේ සිටම දරුවන්ට සෞන්දර්ය හා ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දෙයි. පොල්පිතිගම ජාතික පාසලේ පැවති ‘පුංචි හපන්නු 2026’ ප්‍රාථමික සාහිත්‍ය කුසලතා ඇගයීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, අධ්‍යාපන පද්ධතිය තුළ විෂය කරුණු ඉක්මවා ගිය පුළුල් මානව සංවර්ධනයක අවශ්‍යතාවය ඉස්මතු කරමිනි. පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 49ක් නියෝජනය කරමින් සිසුන් අංශ 17ක් ඔස්සේ ප්‍රදර්ශනය කළ නිර්මාණාත්මක දක්ෂතා ඇගයීමට ලක්කෙරුණු මෙම අවස්ථාව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සමාජීය ප්‍රවේශයක් ලබාදීමට දරන උත්සාහය ද කියාපායි.
සෞන්දර්ය සහ ක්‍රීඩාව යනු හුදෙක් විෂය බාහිර ක්‍රියාකාරකම් නොව, දරුවාගේ නිර්මාණශීලීත්වය, කණ්ඩායම් හැඟීම සහ විනය වර්ධනය කරන මූලික අඩිතාලම බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි. ප්‍රාථමික පාසල් දරුවන්ගේ මෙම කුසලතා ඇගයීම හරහා දේශීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනයක් අපේක්ෂා කරන අතර, ග්‍රාමීය පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය ද ඒ හා සමගාමීව සිදුවිය යුතු බව අග්‍රාමාත්‍යවරියගේ ස්ථාවරයයි. මෙහි කොටසක් ලෙස පොල්පිතිගම මකුල්පොත මහාවිද්‍යාලයේ ඉදිවන නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම, රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බවට කදිම නිදසුනකි.
රුපියල් මිලියන 45ක ආයෝජනයකින් සිදු කෙරෙන මෙම ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කර, ලබන වසරේ ජනවාරි මාසයේදී සිසු අයිතියට පැවරීමට නියමිතය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන මෙම යටිතල පහසුකම් වර්ධනය සහ දරුවන්ගේ සෞන්දර්යාත්මක හා ක්‍රීඩා කුසලතා දිරිගැන්වීම, ජාතික මට්ටමින් තිරසාර අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස සැලකිය හැකිය. දරුවන්ගේ බහුපාර්ශ්වීය දක්ෂතා හඳුනාගෙන ඔවුන් දිරිමත් කරන මෙවැනි වැඩසටහන් අනාගත ශ්‍රී ලාංකීය පරපුර ගෝලීය අභියෝග හමුවේ ශක්තිමත් කිරීමට ඉවහල් වනු නොඅනුමානය.
















