ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් උද්ගත වී ඇති දේශගුණික විපර්යාස නිසා ශ්‍රී ලංකාව ඉදිරියේදී දැවැන්ත ආපදා රැසකට මුහුණ දීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා අනතුරු අඟවයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අදහස් දක්වමිනි.
මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂයෙන් අවධාරණය කළේ අන්දමන් දූපත් ආශ්‍රිතව සුනාමියක් ඇති වුවහොත් මිනිත්තු 40ක් වැනි ඉතා කෙටි කාලයකින් එම රළ පහර ශ්‍රී ලංකාවට ළඟා විය හැකි බවයි. එවැනි තත්ත්වයක් තුළ වෙරළබඩ කලාපයේ ජීවත් වන මිලියන 3.8ක පමණ ජනතාවක් ආරක්ෂිතව ඉවත් කිරීම අතිශය දුෂ්කර සහ අභියෝගාත්මක මෙහෙයුමක් වනු ඇති බවත්, එය රටට ඇති විය හැකි බරපතල අනතුරක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
දැනට පවතින සම්පත් සහ සේවක ධාරිතාවය මෙවැනි හදිසි සහ දරුණු ආපදාවකට මුහුණ දීමට ප්‍රමාණවත් නොවන බවත්, ආයතනික මට්ටමින් සහ තාක්ෂණික වශයෙන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ශක්තිමත් විය යුතු බවත් කොටුවේගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















