පරිසරයට සහ මහජනතාවට පීඩා වන අයුරින් කළු දුම පිටකරන මෙන්ම අධික ශබ්ද නිකුත් කරමින් ධාවනය වන වාහන පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ වට්ස්ඇප් (WhatsApp) අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව 070 3500525 යන අංකයට එවැනි වාහන පිළිබඳ තොරතුරු යොමු කළ හැකිය.
මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සහ නීති විරෝධී ලෙස වාහන නවීකරණය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි. විශේෂයෙන් මෑතකදී සිදුවූ රිය අනතුරු බොහොමයකට නීති විරෝධී ලෙස වාහන නවීකරණය කිරීම හේතුවී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
පොලීසිය විසින් පෙන්වා දෙන නීති විරෝධී නවීකරණයන් කිහිපයක් මෙන්න:
අධික ශබ්දයක් එන පරිදි සයිලන්සර් (Silencer) වෙනස් කිරීම හෝ සවි කිරීම, විවිධ වර්ණ සහිත හෝ නිවි නිවී දැල්වෙන අනතුරුදායක අමතර පහන් සවි කිරීම, ප්‍රමිතියෙන් තොර නළා (Horns) භාවිත කිරීම මෙන්ම වාහනවල බඳෙහි අනවශ්‍ය චිත්‍ර, මෝස්තර හෝ වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම මෝටර් වාහන ආඥා පනතට අනුව වරදකි.
යම් වාහනයකින් කළු දුම පිටවන්නේ නම්, අදාළ වාහනයේ අංකය, ස්ථානය සහ දිනය පැහැදිලිව සඳහන් කර ඉහත අංකයට තොරතුරු එවන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.















