කඩුවෙල, මාලබේ ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වටලනු ලැබීය. මෙම වැටලීමේදී බලපත්‍රලාභී මත්පැන් බෝතල්වලට සමාන ලෙස සකස් කළ මත්පැන් බෝතල් 18,000කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට පොලීසිය සමත් විය.
මෙම ජාවාරම මගින් නැඟෙනහිර පළාතේ සහ කඳුකර ප්‍රදේශවල සුරාසල් 25කට ව්‍යාජ මත්පැන් බෙදාහැර ඇති බව අනාවරණය වී තිබේ. ඒ සඳහා සම්බන්ධ වූ කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ලොරි රියදුරෙකු ද පොලිස් භාරයට ගෙන ඇත. මත්පැන් බෝතල් සඳහා යොදා ඇති ආරක්ෂිත ස්ටිකර් ඉන්දියාවේ සමාගමකින් ගෙන්වා ඇති අතර, නිෂ්පාදනය සඳහා ‘බ්‍රිටෙක්ස්’ නම් රසායනිකය යොදාගෙන තිබේ. අදාළ එතනෝල් සැපයූ වත්තල ප්‍රදේශයේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
විශ්‍රාමික හමුදා මේජර්වරයෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර, ඔවුන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලැබේ. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඒ සඳහා අවසර ලබා දී ඇත. නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය නිවසේ හිමිකාරිය දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ඇගේ දැනුවත්භාවය මත මෙම ජාවාරම සිදුවී ඇති බවට සැක කෙරේ. මෙම ජාවාරම පවත්වාගෙන යාම සඳහා සුරාබදු නිලධාරීන්ගේ සහාය ලැබී ඇති බවට පවතින සැකයන් මත ඒ සම්බන්ධයෙන් ද වැඩිදුර පරීක්ෂණ සිදුවේ.
















