කිසියම් පුද්ගලයකු පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටින අවස්ථාවක, රාජ්‍ය බුද්ධි සේවය විසින් සිදු කරනු ලබන තර්ජන තක්සේරු වාර්තා (Threat Assessment Reports) කැඳවා, එම වාර්තා මත පදනම්ව ආරක්ෂාව ලබාදිය යුතු දැයි තීරණය කරනු ලබන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. නීත්‍යනුකූලව ආරක්ෂාව ලැබීමට හිමිකම් ඇති ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, කථානායක සහ නීතිපති ඇතුළු ප්‍රභූවරුන්ට අමතරව, ආරක්ෂක තත්ත්ව වාර්තා පදනම් කරගනිමින් හිටපු ජනාධිපතිවරුන්ට, හිටපු මැති ඇමැතිවරුන්ට සහ වත්මන් පක්ෂ-විපක්ෂ මන්ත්‍රීවරුන්ට ද ආරක්ෂාව සපයන බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම ක්‍රියාවලියට අදාළව දැනට ආරක්ෂාව ලබා දී ඇති ප්‍රභූවරුන් සහ හිටපු මැති ඇමැතිවරුන්ගේ නාමලේඛනයක් නියෝජ්‍ය අමාත්‍යවරයා සභාගත කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ට මෙන්ම, තවත් මන්ත්‍රීවරුන්, හිටපු කථානායකවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසකට තර්ජන තක්සේරු වාර්තා මත ආරක්ෂාව සලසා ඇත.
කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා විසින් යම් පිරිසකගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳව කරුණු විමසූ අතර, ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ආරක්ෂක වාර්තා යාවත්කාලීන වන විට සහ තර්ජන මට්ටම් වෙනස් වන විට අදාළ ආරක්ෂක පියවරයන් ද ඒ අනුව සැකසෙන බවයි.
















