2026 පෝලන්ත රූ රැජින තරගාවලියෙහි අවසන් තරගකාරිනියන් 24 දෙනෙකු සහ කාර්‌ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ දින 10ක විශේෂ සංචාරයක් සඳහා දිවයිනට පැමිණියහ. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්‌ධන කාර්‌යාංශයේ ආරාධනයෙන් සිදු කෙරෙන මෙම සංචාරයේදී පෝලන්ත රූ රැජින තරගාවලියේ 2024 සහ 2025 වසරවල ජයග්‍රාහිකාවන් ද ඇතුළුව 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිගිරියේ සිට නැගෙනහිර වෙරළ තීරය දක්වා සංචාරය කරමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ස්වාභාවික සම්පත් නිරීක්ෂණය කරනු ලැබීය.
මෙම සංචාරයේදී පාසිකුඩා ප්‍රදේශයේ පිහිටි සුන් සියම් හෝටලයේ (Sun Siyam Pasikudah) ඔවුන් නවාතැන් ගත් අතර, එහි වෙරළ තීරය විශේෂ ඡායාරූප ගත කිරීම් සඳහා යොදා ගැනිණි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්‌ධන කාර්‌යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මාසිතා ද තබ්‍රෙව් මහත්මිය සඳහන් කළේ මෙම වැඩසටහන හරහා මෙරට ප්‍රසිද්ධියට පත් නොවූ සංචාරක ස්ථාන පිළිබඳව ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීම සහ ආගන්තුක සත්කාර ප්‍රදර්‌ශනය කිරීම අරමුණු කරගත් බවයි. හෝටල් බලධාරීන් පෙන්වා දුන්නේ නැගෙනහිර වෙරළ තීරය ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමට මෙම සංචාරය පිටුවහලක් වන බවයි.
අගෝස්තු 02 වන දින පෝලන්තයේදී පැවැත්වීමට නියමිත 2026 පෝලන්ත රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගයට පෙර මෙම සංචාරය සංවිධානය කර ඇත. එහිදී තරගකාරිනියන් ලබාගත් අත්දැකීම් සහ ඡායාරූප පෝලන්ත මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන අතර, තරගාවලිය පෝලන්තයේ පෝල්සැට් (Polsat) නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රචාරණය උදෙසා මෙවැනි ජාත්‍යන්තර ඉසව් සහ වැඩසටහන් ඉවහල් වන බව ක්ෂේත්‍රයේ විචාරකයෝ පෙන්වා දෙති.
















