අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා ආරම්භ කර ඇති සාම සාකච්ඡා කිසිසේත් නතර නොකර අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස 14 වන ලියෝ පාප් වහන්සේ (Pope Leo XIV) ලෝක නායකයන්ගෙන් අද (24) යළිත් ඉල්ලීමක් කළහ.
සිය අප්‍රිකානු සංචාරය නිමා කර රෝමය බලා යන අතරතුර ගුවන් යානය තුළදී මාධ්‍යවේදීන් ඇමතූ පාප් වහන්සේ ප්‍රකාශ කළේ, මෙම ගැටුම හේතුවෙන් ඉරානයේ අහිංසක සිවිල් වැසියන් දැඩි පීඩාවකට පත්ව ඇති බවයි. “සාමය ප්‍රවර්ධනය කිරීමටත්, යුද තර්ජනය ඉවත් කිරීමටත්, ජාත්‍යන්තර නීතියට ගරු කිරීමටත් සියලු පාර්ශ්වයන් උපරිම උත්සාහයක් ගත යුතුයි,” යැයි උන්වහන්සේ අවධාරණය කළහ.
ඉරානය තුළ ක්‍රියාත්මක වන අමෙරිකානු – ඊශ්‍රායල හමුදා මෙහෙයුම් පාප් වහන්සේ විසින් මීට පෙර ද දැඩි ලෙස විවේචනය කර තිබුණි. මේ හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පාප් වහන්සේ අතර මතගැටුමක් නිර්මාණය වී ඇති අතර, ජනාධිපති ට්‍රම්ප් විසින් පාප් වහන්සේට එරෙහිව ප්‍රහාරාත්මක ප්‍රකාශයන් ද සිදුකර තිබුණි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර පවතින සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කරන බව ධවල මන්දිරයේදී ඊයේ (23) නිවේදනය කළේය. කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනි ඩැනන් මහතා පෙන්වා දෙන්නේ මෙම සටන් විරාමය මගින් ගැටුම් සම්පූර්ණයෙන් නතර වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි
නව ගිවිසුම 100%ක් සාර්ථක එකක් නොවන බවත්, පවතින තත්ත්වය තවදුරටත් සංකීර්ණ විය හැකි බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














