කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (11) ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා අවධාරණය කළේ මේ සම්බන්ධයෙන් රජය, අමාත්‍යාංශය හෝ වරාය අධිකාරිය තුළ කිසිදු සාකච්ඡාවක් සිදුවී නොමැති බවයි.
පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බවට වරාය අධිකාරියේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ යැයි කියන පුවත පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එවැනි වැඩපිළිවෙලක් නොමැති බව වරාය අධිකාරියේ සභාපතිවරයා ද පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවයි. විවිධ ආයෝජන යෝජනා ඉදිරිපත් වුවද, පර්යන්තය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක් රජය ගෙන නොමැත. යම් හෙයකින් එවැනි ආයෝජන සැලසුමක් පිළිබඳව අනාගතයේදී සලකා බැලීමට සිදුවුවහොත්, එය මහජනතාව සහ වරාය සේවකයන් සමඟ සාකච්ඡා කර, රටට සහ වරායට වඩාත් වාසිදායක වන අයුරින් පමණක් සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














